මත්ද්‍රව්‍ය ජාවාරම් මුදලින් මිලදී ගත් බවට සැක කෙරෙන රුපියල් මිලියන 22ක BMW රථයක් තහනම් කරයි

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් භාවිත කර මිලදී ගත් බවට සැක කෙරෙන රුපියල් මිලියන 22ක් පමණ වටිනා BMW සුඛෝපභෝගී මෝටර් රථයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

පොලිසිය සඳහන් කළේ, මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මීගමුව ප්‍රදේශයේ සැකකරුවකු නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් යොදාගෙන සිය පුත්‍රයාගේ නමට වත්කම් මිලදී ගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් භාවිත කර අදාළ දේපළ මිලදී ගෙන ඇති බවට ලැබුණු තොරතුරු මත නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

එම විමර්ශනයේ කොටසක් ලෙස මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඔක්තෝබර් 13 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි අදාළ BMW මෝටර් රථයට දින 14ක තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

එම කාලසීමාව තුළ මෝටර් රථය විකිණීම, වෙනත් අයකුට පැවරීම හෝ වෙනත් කිසිදු ගනුදෙනුවකට භාජනය කිරීම මෙම නියෝගය මඟින් වළක්වා තිබේ.

අදාළ මුදල් උපයාගත් ආකාරය සොයා බැලීමටත්, සැකකටයුතු නීති විරෝධී වත්කම් පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කිරීමටත් කටයුතු කරමින් සිටින බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *