පාසල් පෙළපොත් තොගය අතුරුදන්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක්

අතුරුදන් වූ පාසල් පෙළපොත් තොගය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා දෙපාර්තමේන්තු මට්ටමේ පරීක්ෂණ කමිටුවක් පත් කළ බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනද මේ වන විට ක්‍රියාත්මක බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ප්‍රවාහනය සඳහා පෙළපොත් භාරදීමෙන් අනතුරුව පළමු සැකකරු එම තොගය අලව්ව ප්‍රදේශයේ ස්ථානයකට අලෙවි කර ඇති බවයි.

පසුව එම ස්ථානයේ හිමිකරු විසින් පෙළපොත් තොගය නාරම්මල ප්‍රදේශයේ මධ්‍යස්ථානයකට අලෙවි කර ඇති අතර, එතැන් සිට එම තොගය වත්තල ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ.

නැගෙනහිර පළාතේ පාසල් සඳහා බෙදාහැරීම වෙනුවෙන් අදාළ පෙළපොත් තොගය මැයි 24 වැනිදා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ප්‍රවාහන කටයුතු සඳහා භාරදී තිබුණි.

එම තොගයට දෙමළ භාෂා ක්‍රියාකාරකම් පොත් සහ පළමු ශ්‍රේණියේ තුන්වන වාරයට අදාළ පෙළපොත් ඇතුළත් වූ අතර, එහි වටිනාකම රුපියල් ලක්ෂ 80කට අධික බව සඳහන් වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන සඳහා ඔවුන් අගෝස්තු 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලිසිය තහවුරු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *