නොරොච්චෝලේ ලක්විජය බලාගාරය යළි ක්‍රියාත්මකයි

ඔක්තෝබර් 17 වැනිදා ජාතික විදුලිබල පද්ධතියෙන් විසන්ධි කෙරුණු නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරය ඊයේ (22) යළි ක්‍රියාත්මක කිරීමට නියමිතය.

බලාගාරයේ නිලධාරීන්ට අනුව, එහි මෙහෙයුම් යළි ආරම්භ කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් පවතින අතර, අද දිනයේදී බලාගාරය යළි ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

විදුලිබල පද්ධතියේ ඇති වූ අසමතුලිතතාවක් හේතුවෙන් ආරක්ෂක ක්‍රියාපටිපාටිවලට අනුව පසුගිය 17 වැනි සෙනසුරාදා පෙරවරුවේ ලක්විජය බලාගාරය ජාතික විදුලිබල පද්ධතියෙන් විසන්ධි කෙරිණි.

බලාගාරයේ යළි ක්‍රියාත්මක කිරීමේ කටයුතු පරීක්ෂා කිරීම සඳහා බලශක්ති, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා  බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

එහිදී බලාගාරයේ මෙහෙයුම් කඩිනමින් යළි ආරම්භ කිරීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් අමාත්‍යවරයා ඉංජිනේරු හා තාක්ෂණික නිලධාරීන් සමඟ සාකච්ඡා කළේය.

බලාගාරයේ මෙහෙයුම් හැකි ඉක්මනින් යළි ආරම්භ කිරීම සහතික කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ද ඔහු විසින් ලබා දෙන ලදී.

යළි ක්‍රියාත්මක කිරීමේ කටයුතු අතරතුර නිලධාරීන් දැක්වූ කැපවීම සහ උත්සාහය සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා සිය ප්‍රසාදය පළ කළේය.

බලාගාරයේ මෙහෙයුම් ඊයේ(22) යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව එහි නිලධාරීන් අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *