නේපාලයේ හදිසි ගංවතුරකින් සංචාරකයින් ඇතුළු 384ක් අතුරුදන්

නේපාලයේ රාසුවා ප්‍රදේශයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් සංචාරකයින් ඇතුළු පුද්ගලයන් අවම වශයෙන් 384 දෙනෙකු අතුරුදන්ව ඇති බව නේපාල සංචාරක මණ්ඩලය පවසයි.

අතුරුදන්වූවන් අතර විදේශිකයන් 291 දෙනෙකු සහ නේපාල ජාතිකයන් 93 දෙනෙකු සිටින බව වාර්තා වේ. මේ වනවිට සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

භෝටේ කොෂි ගංගාවේ ජල මට්ටම හදිසියේ ඉහළ යාමත් සමඟ මෙම ගංවතුර තත්ත්වය හටගෙන ඇති අතර, ප්‍රදේශ රැසකට දැඩි හානි සිදුව තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ දර්ශනවලින් ගංවතුරේ ප්‍රබලත්වය සහ සිදුව ඇති විනාශය දැකගත හැකිය.

එක් වීඩියෝවකදී පාලමක කොටසක් මැදින් කැඩී තත්පර කිහිපයක් ඇතුළත සැඩ පහරට ගසාගෙන යන ආකාරය දැක්වේ. තවත් වීඩියෝ දර්ශනවල නිවාස සහ පොදු යටිතල පහසුකම් සැඩ පහරට හසුව ගසාගෙන යන ආකාරය දැකගත හැකිය.

චීනය පාලනය කරන ටිබෙට් ප්‍රදේශයේ ආගමන මධ්‍යස්ථානයක CCTV කැමරාවක සටහන් වූ බව කියන දර්ශනද සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වී තිබේ. එහිදී පුද්ගලයන් සිය ගණනක් දිවි බේරා ගැනීම සඳහා මාර්ග ඔස්සේ දිව යන අතර, හදිසියේ පැමිණෙන දැවැන්ත ජල පහරක් ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන්ම යට කරගෙන යන ආකාරය දැක්වේ. මෙම දර්ශන නේපාලය සහ ටිබෙට් දේශසීමාවේ රාසුවාගාධි දේශසීමා මුරපොළෙන් ලබාගත් බවට වාර්තා වේ.

ගංවතුර හේතුවෙන් මේ වනවිට අවම වශයෙන් පුද්ගලයන් 8 දෙනෙකු මියගොස් ඇති අතර, ඉන්දීය ජාතිකයන් 105 දෙනෙකු ඇතුළු තවත් පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

දේශීය වේලාවෙන් පෙරවරු 9.00ට පමණ භෝටේ කොෂි ගංගාවට හදිසි ජල පහරක් පැමිණ ඇති අතර, එය චීන දේශසීමා දෙසින් පැමිණි බව බලධාරීන් සඳහන් කර තිබේ.

ටිමුරේ සහ සියාෆ්රුබේසි ප්‍රදේශ ඇතුළුව රාසුවා දිස්ත්‍රික්කයේ පුළුල් විනාශයක් සිදුව ඇති බව බලධාරීන් පවසයි.

නේපාල පොලිසිය සහ නේපාල හමුදාව මේ වනවිට ගංවතුර හේතුවෙන් අතරමංව සිටින පුද්ගලයන් මුදාගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටිති.

මේ අතර, නේපාල අගමැති බලේන්ද්‍ර ෂා ගංවතුරෙන් සිදුවූ හානි, වත්මන් තත්ත්වය සහ මුදාගැනීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *