හිටපු අමාත්‍යවරුන්, දේශපාලනඥයන්, රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ දූෂණ, වංචා සහ අපරාධ නඩු 50ක තොරතුරු අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
වත්මන් රජය දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළිගැනීමේ අරමුණින් කටයුතු කරන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඔහු පැවසුවේ, මෙම නඩු සහ විමර්ශන වත්මන් පාලනය යටතේ අලුතින් ආරම්භ කළ ඒවා නොවන බවයි. ඒවායින් බොහොමයක් 2015 සිට 2019 දක්වා කාලයේ ඉදිරිපත් වූ පැමිණිලි සහ ආරම්භ වූ නීතිමය ක්‍රියාමාර්ගවලට අදාළ බවද ඔහු සඳහන් කළේය.
පෙර පැවති පාලන සමයන්හිදී දේශපාලන සබඳතා සහ බලපෑම් හේතුවෙන් ඇතැම් විමර්ශන යටපත් කිරීමට කටයුතු කළ බවටද රත්නායක මහතා චෝදනා කළේය. වත්මන් රජය විමර්ශන නිලධාරීන්ට දේශපාලන මැදිහත්වීම්වලින් තොරව රාජකාරි කිරීමට අවස්ථාව ලබාදී ඇති බව ඔහු පැවසීය.
මෙම කරුණු තහවුරු කිරීම සඳහා දේශපාලනඥයන්, හිටපු රාජ්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ ව්‍යාපාරිකයන් සම්බන්ධ නඩු 50ක විස්තර ඇතුළත් පිටු 10ක ලේඛනයක්ද ඔහු සභාගත කළේය.
එම ලේඛනයට ජොන්ස්ටන් ප්‍රනාන්දු, විමල් වීරවංශ, මහින්දානන්ද අලුත්ගමගේ, බැසිල් රාජපක්ෂ, රාජිත සේනාරත්න, රවී කරුණානායක, ප්‍රසන්න රණතුංග, ඒ.එච්.එම්. ෆවුසි, බන්දුල ගුණවර්ධන සහ රෝහිත බෝගොල්ලාගම යන හිටපු අමාත්‍යවරුන් ඇතුළු පිරිසකට අදාළ නඩු ඇතුළත් වේ.
නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ, රෝහිත රාජපක්ෂ, චමල් රාජපක්ෂ සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ යන රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සම්බන්ධ නඩු හා විමර්ශනද එහි සඳහන් වේ.
මහ බැංකු බැඳුම්කර ගනුදෙනු, ක්‍රිෂ් ගනුදෙනුව, මිග් යානා මිලදී ගැනීම, දිවි නැගුම අරමුදල්, සිල් රෙදි බෙදාහැරීම සහ කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනය සම්බන්ධ චෝදනා ඇතුළු මූල්‍ය ගනුදෙනු රැසක්ද ලේඛනයට ඇතුළත් කර තිබේ.
2019 පාස්කු ඉරිදා ප්‍රහාරය, රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සහ මාධ්‍යවේදීන් වන කීත් නොයාර් හා උපාලි තෙන්නකෝන්ට එල්ල වූ ප්‍රහාර සම්බන්ධ විමර්ශන හා නීතිමය කටයුතුද එහි සඳහන් වේ.
හිටපු අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන්
ලේඛනයේ සඳහන් කර ඇති චෝදනා සහ නඩු අතරට පහත කරුණු ඇතුළත් වේ.
- ජොන්ස්ටන් ප්‍රනාන්දු: සතොස සේවකයන් 153 දෙනෙකු දේශපාලන කටයුතු සඳහා යොදාගැනීමෙන් රු. මිලියන 40ක පමණ පාඩුවක් සිදු කළ බවට චෝදනා. 2016 සිට අදාළ මහාධිකරණ නඩු පහක තොරතුරු ලේඛනයේ සඳහන් වේ.
- විමල් වීරවංශ: 2010 සිට 2015 දක්වා කාලය තුළ නීත්‍යනුකූල ආදායමෙන් උපයාගත නොහැකි රු. මිලියන 75.4ක වත්කම් අත්පත් කරගත් බවට චෝදනා. 2017 ඔක්තෝබර් මාසයේ ගොනු කළ නඩුවක් පිළිබඳවද සඳහන් වේ.
- මහින්දානන්ද අලුත්ගමගේ: 2014 ජනාධිපතිවරණ සමයේ කැරම් බෝඩ් 14,000ක් බෙදාහැරීම සඳහා මහජන මුදල් භාවිත කිරීමෙන් රු. මිලියන 53.1ක පාඩුවක් සිදු කළ බවට චෝදනා.
- බැසිල් රාජපක්ෂ: මැතිවරණ සමයක දිවි නැගුම අරමුදලෙන් රු. බිලියන 2.991ක් වැය කර වහල තහඩු බෙදාහැරීම සම්බන්ධ චෝදනා. මහාධිකරණයෙන් නිදහස් කිරීමක් සහ ඊට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනයක් පිළිබඳවද ලේඛනයේ සඳහන් වේ.
- රාජිත සේනාරත්න: මෝදර ධීවර වරාය අඩු තක්සේරු කළ කුලී මුදලකට බදුදීම හේතුවෙන් රජයට මූල්‍ය පාඩුවක් සිදු කළ බවට චෝදනා.
- රවී කරුණානායක: 2016 මහ බැංකු බැඳුම්කර ගනුදෙනු සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සම්බන්ධ කරුණු මෙන්ම කුලී නොගෙවා පෙන්ට්හවුස් නිවාසයක පදිංචිව සිටීම පිළිබඳ චෝදනා.
- ප්‍රසන්න රණතුංග: මීගමුව, තලාහේන ප්‍රදේශයේ ඉඩමක් ගොඩකිරීමට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙකුගෙන් රු. මිලියන 64ක් ඉල්ලා සිටි බවට චෝදනා. වසර දෙකක අත්හිටවූ සිර දඬුවමක්, රු. මිලියන 25ක දඩයක් සහ අභියාචනයක් පිළිබඳව ලේඛනයේ සඳහන් වේ.
- ප්‍රියංකර ජයරත්න: සිවිල් ගුවන් සේවා අධිකාරියට අයත් රු. මිලියන 9.1ක් අයථා ලෙස භාවිත කිරීම සහ නීති විරෝධී පත්වීම් පහක් ලබාදීම පිළිබඳ චෝදනා.
- ඒ.එච්.එම්. ෆවුසි: ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට නෙදර්ලන්තයෙන් ලබාදුන් ලෑන්ඩ් කෘසර් රථයක් පෞද්ගලික භාවිතයට යොදාගැනීම සම්බන්ධ චෝදනා. වරද පිළිගැනීමෙන් අනතුරුව අත්හිටවූ සිර දඬුවමක් සහ දඩයක් නියම කිරීම පිළිබඳවද සඳහන් වේ.
- සරණ ගුණවර්ධන: සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයාව සිටියදී නීති විරෝධී ලෙස වාහන කුලියට ගැනීම සහ මහජන මුදල් අයථා ලෙස භාවිත කිරීම සම්බන්ධ නඩුවක්. වරදකරු කිරීම සහ දඬුවම් නියම කිරීමද ලේඛනයේ දැක්වේ.
රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සහ සම්බන්ධිත නඩු
- නාමල් රාජපක්ෂ: ඉන්දියාවේ ක්‍රිෂ් සමූහයෙන් ලැබුණු බව කියන රු. මිලියන 70ක් සම්බන්ධ මුදල් විශුද්ධිකරණ චෝදනා. 2016දී ගොනු කළ කොළඹ මහාධිකරණ නඩුවක් පිළිබඳව සඳහන් වේ.
- යෝෂිත රාජපක්ෂ: රු. මිලියන 234ක් නීති විරෝධී ලෙස උපයාගෙන කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් (CSN) ආයතනය පිහිටුවීමට යොදාගත් බවට චෝදනා.
- ගෝඨාභය රාජපක්ෂ: මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රු. මිලියන 33.9ක් භාවිත කිරීම සම්බන්ධ චෝදනා.
- ශිරන්ති රාජපක්ෂ: සිරිලිය සවිය පදනම හරහා සිදු වූ ගනුදෙනු සහ වසීම් තාජුඩීන් ඝාතන විමර්ශනයට සම්බන්ධ බව කියන ඩිෆෙන්ඩර් රථයක් පිළිබඳ විමර්ශන.
- රෝහිත රාජපක්ෂ: සුප්‍රීම්සැට් චන්ද්‍රිකා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මහජන මුදල් හා රාජ්‍ය සම්පත් අයථා ලෙස භාවිත කළ බවට චෝදනා.
- චමල් රාජපක්ෂ: අනුමැතියකින් තොරව වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ අරමුදල් ව්‍යාපෘති සඳහා වෙන් කළ බවට පැමිණිල්ලක්.
- ශෂීන්ද්‍ර රාජපක්ෂ: මහියංගණය ප්‍රදේශයේ රජයේ ඉඩම් අක්කර කිහිපයක් ආශ්‍රිතයන් අතර නීති විරෝධී ලෙස බෙදාදුන් බවට චෝදනා.
- ජාලිය වික්‍රමසූරිය: වොෂින්ටන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී ඇමෙරිකානු ඩොලර් 332,000ක් අයථා ලෙස භාවිත කළ බවට චෝදනා.
- උදයංග වීරතුංග: මිග්-27 යානා මිලදී ගැනීමේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 7කට වැඩි මූල්‍ය වංචාවක් සිදු කළ බවට චෝදනා.
- නිරූපමා රාජපක්ෂ: පැනමා සහ පැන්ඩෝරා පත්‍රිකා හරහා හෙළි වූ විදේශීය වත්කම් හා ජාත්‍යන්තර බැංකු ගිණුම් සම්බන්ධ විමර්ශන. එම කරුණ විමර්ශන මට්ටමේ පවතින බව ලේඛනයේ සඳහන් වේ.
ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ මූල්‍ය ක්ෂේත්රයේ පුද්ගලයන්
මෙම කොටසට ඇතුළත් කර ඇති කරුණු අතර, 2014 ජනාධිපතිවරණ සමයේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අරමුදල්වලින් රු. මිලියන 600ක් වැය කර සිල් රෙදි බෙදාහැරීම සම්බන්ධයෙන් ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිටට අදාළ නඩු ඇතුළත් වේ.
2019 පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ක්‍රියා නොකළ බවට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එල්ල වූ චෝදනාද ලේඛනයේ සඳහන් වේ.
2015 පෙබරවාරි මහ බැංකු බැඳුම්කර වෙන්දේසියේදී අභ්‍යන්තර තොරතුරු අයථා ලෙස හෙළි කිරීම සහ රජයට පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට, අර්ජුන් ඇලෝසියස්ට සහ කසුන් පලිසේනට අදාළ කරුණුද එහි ඇතුළත්ය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට නාලක ද සිල්වාට එල්ල වූ චෝදනා මෙන්ම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධ සාක්ෂි වසන් කිරීම පිළිබඳ විමර්ශනද සඳහන් කර තිබේ.
පළාත් සභා, රාජ්‍ය ආයතන සහ වෙනත් දේශපාලන චරිත
ඌව පළාත් සභාව යටතේ පාසල් නිල ඇඳුම් රෙදි මිලදී ගැනීමේදී රු. මිලියන 16ක අක්‍රමිකතා සිදු කළ බවට චමර සම්පත් දසනායකට එල්ල වූ චෝදනා, නිල ඉන්ධන දීමනා ලබාගනිමින් අමතර ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙන් එස්.එම්. රංජිත් සමරකෝන්ට අදාළ නඩුව සහ ආයෝජන මණ්ඩලයට අයත් ඉඩමක් අඩු මිලකට පැවරීම පිළිබඳ පියසේන ගමගේට එල්ල වූ චෝදනාද ලේඛනයට ඇතුළත් වේ.
සතොස හරහා සිදු කළ සහල් ආනයනයෙන් රජයට විශාල මූල්‍ය පාඩුවක් සිදු කළ බවට බන්දුල ගුණවර්ධනට එල්ල වූ චෝදනා, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අරමුදල් ප්රචාරක කටයුතු සඳහා නීති විරෝධී ලෙස භාවිත කිරීම පිළිබඳ මහින්ද හෝමාගමට අදාළ කරුණු සහ කිලිනොච්චියේ හිටපු දිස්ත්‍රික් ලේකම්වරියක වූ රූපවතී කේතීස්වරන්ට එල්ල වූ චෝදනාද එහි සඳහන් වේ.
පොලිස් රෝහල සඳහා වෛද්‍ය උපකරණ මිලදී ගැනීමේදී රු. මිලියන 15ක් අයථා ලෙස භාවිත කළ බවට ජයන්ත ප්‍රනාන්දුට එල්ල වූ චෝදනා, ද්විත්ව පුරවැසිභාවය තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීම සම්බන්ධයෙන් ගීතා කුමාරසිංහට අදාළ නීතිමය කටයුතු සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අරමුදල් හා නිල බලය අයථා ලෙස භාවිත කිරීම පිළිබඳ රෝහිත බෝගොල්ලාගමට එල්ල වූ චෝදනාද ලේඛනයේ දැක්වේ.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ධුරයට නීති විරෝධී පත්වීමක් සිදු කිරීමෙන් රු. මිලියන 3.2ක පාඩුවක් සිදු කළ බවට කුමාර වෙල්ගමට එල්ල වූ චෝදනාවද එහි ඇතුළත්ය.
ඝාතන, අතුරුදන්වීම් සහ වෙනත් අපරාධ විමර්ශන
වසීම් තාජුඩීන් ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම සහ යාපනයේදී ලලිත් කුමාර් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදන්වීම සම්බන්ධ විමර්ශන හා නීතිමය ක්‍රියාමාර්ගද ලේඛනයට ඇතුළත් කර තිබේ.
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් වධහිංසා කිරීම සහ හිටපු රිවිර කර්තෘ උපාලි තෙන්නකෝන්ට පහරදී ඝාතනය කිරීමට උත්සාහ කිරීම සම්බන්ධ නඩුද එහි සඳහන් වේ.
හිටපු අමාත්‍ය රවීන්ද්‍ර සමරවීරට රජයේ සහල් තොග අඩු මිලකට පෞද්ගලික අංශයට අලෙවි කිරීමේ අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවද ලේඛනයේ දැක්වේ.
අවන්ට් ගාඩ් විමර්ශනය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතුවලට මැදිහත් වූ බවට විජේදාස රාජපක්ෂට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිල්ලක්ද එහි සඳහන්ය.
පෞද්ගලික ආරක්ෂක සමාගමක් හරහා ගිනිඅවි සහ පතොරම් නීති විරෝධී ලෙස ළඟ තබාගැනීම සහ රු. බිලියන 11.4ක මූල්‍ය පාඩුවක් සම්බන්ධයෙන් නිශ්ශංක සේනාධිපතිට එල්ල වූ චෝදනා මෙන්ම, අනුමත ක්‍රියාපටිපාටියෙන් බැහැරව රාජ්‍ය සංවර්ධන ව්‍යාපෘති සඳහා කොන්ත්‍රාත් ලබාදීමෙන් දූෂණ විරෝධී නීති උල්ලංඝනය කළ බවට තිලාන් විජේසිංහට එල්ල වූ චෝදනාද ලේඛනයට ඇතුළත් කර තිබේ.
මෙම ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් බිමල් රත්නායක මහතා අවධාරණය කළේ, වසර ගණනාවක් විසඳී නොමැතිව පැවති නඩු හා විමර්ශන ඉදිරියට ගෙන යාම දේශපාලන පළිගැනීමක් ලෙස නොසැලකිය යුතු බවයි.
සටහන: ලේඛනයේ සඳහන් සියලු කරුණු එකම නීතිමය තත්ත්වයක නොපවතී. ඇතැම් ඒවා චෝදනා හෝ විමර්ශන වන අතර, තවත් ඒවා අධිකරණ තීන්දු, අභියාචනා හෝ වෙනත් නීතිමය ක්‍රියාමාර්ගවලට අදාළ වේ.


