දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි

දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත වී තිබේ.

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කිරීමේදී මතුවූ නීතිමය, අර්ථ නිරූපණමය, පරිපාලනමය සහ තාක්ෂණික ගැටලු විසඳීම මෙම සංශෝධනවල ප්‍රධාන අරමුණ බව සඳහන් වේ.

ඒ අනුව, පනතේ සිංහල සහ ඉංග්‍රීසි පාඨ අතර පවතින නොගැළපීම් නිවැරදි කිරීම, දූෂණ වැරදි සම්බන්ධ විමර්ශන හා නඩු පැවරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම මෙන්ම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) පරිපාලන කටයුතු වැඩිදියුණු කිරීම ද මෙම සංශෝධන මඟින් අපේක්ෂා කෙරේ.

එමෙන්ම, වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය යාවත්කාලීන කරමින් ඒ සඳහා මධ්‍යගත විද්‍යුත් පද්ධතියක් භාවිත කිරීමේ විධිවිධාන ද මෙයට ඇතුළත් වේ.

ශ්‍රී ලංකාවේ දූෂණයට එරෙහි නීතිමය හා ආයතනික රාමුව තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සංශෝධනවල අරමුණ බව පාර්ලිමේන්තුව සඳහන් කරයි. ඒ තුළින් දූෂණ විරෝධී නීති ක්‍රියාත්මක කිරීමේදී විනිවිදභාවය, වගවීම සහ කාර්යක්ෂමතාව තහවුරු කිරීමට අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *