පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ගවයන් සඳහා ආහාර සහ ජලය සපයා ගැනීම දුෂ්කර වීමත් සමඟ අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල කිරි ගොවීන් දැඩි දුෂ්කරතාවකට මුහුණ දී සිටිති.
මේ අතර දිස්ත්‍රික්ක හතක පුද්ගලයන් දස දහස් ගණනකට හදිසි පානීය ජල සැපයුම් ලබාදීමටද කටයුතු කරමින් පවතී.
ගොවීන් පවසන්නේ මීට පෙර එක් ගවයෙකුගෙන් දිනකට ලබාගත් කිරි ප්‍රමාණය ලීටර් 7ත් 8ත් අතර පැවතියද, සත්ව ආහාර හිඟය හේතුවෙන් එය මේ වන විට ලීටර් 1ත් 2ත් අතර ප්‍රමාණයකට පහත වැටී ඇති බවයි.
මේ අතර ප්‍රධාන සහ සුළු ජලාශ කිහිපයක ජල මට්ටම්ද සැලකිය යුතු ලෙස පහත වැටී තිබේ.
පොළොන්නරුවේ ගිරිතලේ ජලාශය, අම්පාරේ සේනානායක සමුද්‍රය මෙන්ම අනුරාධපුරයේ නොච්චියාගම සහ කුඩා ඔය මඩුව ප්‍රදේශවල ජලාශද මෙම තත්ත්වයෙන් බලපෑමට ලක්ව තිබේ.
දැඩි වියළි කාලගුණය වනජීවීන්ටද බලපා ඇති අතර, ඇතැම් ප්‍රදේශවල මසුන් මියයාමේ සිද්ධීන් වාර්තා වී තිබේ.
සෝමාවතී ජාතික වනෝද්‍යානයේ සිටින වල් අලි රංචු පානීය ජලය සොයා ජනරංජන වැව දෙසට ගමන් කරන අයුරුද වාර්තා වී ඇත.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ මෙම වියළි කාලගුණ තත්ත්වය දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 25ක පවුල් 26,457කට, එනම් පුද්ගලයන් 84,545කට බලපා ඇති බවයි.
මේ වන විට දිස්ත්‍රික්ක හයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22ක පවුල් 24,144කට අයත් පුද්ගලයන් 75,734 දෙනෙකුට පානීය ජලය බෙදාදෙමින් පවතී.
පානීය ජලය ලබාදෙන පුද්ගලයන්ගේ වැඩිම සංඛ්‍යාව මොනරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එහි පවුල් 11,074කට අයත් පුද්ගලයන් 35,639 දෙනෙකුට ජලය ලබාදෙමින් තිබේ.
මීට අමතරව, මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 9,547කට අයත් පුද්ගලයන් 28,253 දෙනෙකුටත්, අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 2,823කට අයත් පුද්ගලයන් 8,847 දෙනෙකුටත් පානීය ජලය බෙදාදෙමින් පවතී.
පොළොන්නරුවේ පවුල් 683කට අයත් පුද්ගලයන් 2,646 දෙනෙකුටත්, රත්නපුරයේ පවුල් 17කට අයත් පුද්ගලයන් 79 දෙනෙකුටත් පානීය ජලය ලබාදීමට කටයුතු කර තිබේ.
වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින අතරතුර, නියඟයෙන් සහනයක් ලබාගැනීමේ අරමුණින් මව්බිම සුරැකීමේ සංවිධානය විසින්ද දිවයින පුරා වැසි ප්‍රාර්ථනා කරමින් බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් “වැහි පිරිත්” සජ්ඣායනා කිරීමේ වැඩසටහන් ආරම්භ කර තිබේ.


