වැඩිවෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුරෙන් දරුවන් ආරක්ෂා කිරීම සඳහා දෙමාපියන් සක්‍රීයව සම්බන්ධ කරගත හැකි වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
මත්ද්‍රව්‍ය උවදුර වැළැක්වීමේදී නීතිමය ක්‍රියාමාර්ගවලට පමණක් වඩා ශක්තිමත් දෙමාපිය සහ දරු සබඳතාවක් වඩාත් ඵලදායී වන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ඒ අනුව, මත්ද්‍රව්‍ය උවදුරේ බරපතළකම පිළිබඳව දෙමාපියන් සෘජුව දැනුවත් කිරීම මෙන්ම දරුවන්ගේ හැසිරීම්වල සිදුවන වෙනස්කම් හඳුනාගෙන ඒවා නිරීක්ෂණය කිරීමට අවශ්‍ය දැනුම සහ පුහුණුව ලබාදීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා පිහිටුවා ඇති “මුළු රටම එකට” ජාතික මෙහෙයුම් කමිටුවේ රැස්වීමක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (30) පැවැති අතර, එහිදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී තිබේ.
දරුවෙකු මත්ද්‍රව්‍ය භාවිතයට නිරාවරණය වීමේ අවදානමක් පවතින අවස්ථාවක දෙමාපියන්ට විශ්වාසයෙන් උපදෙස් ලබාගත හැකි පුද්ගලයෙකු සිටීමේ වැදගත්කමද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
එවැනි අවස්ථාවලදී දෙමාපියන් සාමාන්‍යයෙන් ගුරුවරුන්ගෙන් හෝ ආගමික නායකයන්ගෙන් උපකාර ලබාගැනීමට පෙළඹෙන බැවින්, විශ්වාසදායක උපදෙස් ලබාදීම සඳහා ක්‍රමානුකූල වැඩසටහනක් සකස් කරන ලෙසද ඔහු නිලධාරීන්ට උපදෙස් දුන්නේය. එම වැඩසටහනට සම්බන්ධ වන ගුරුවරුන්ට විශේෂ පුහුණුවක් ලබාදීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයන් බිඳ දැමීම සඳහා දැනට ක්‍රියාත්මක වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මේ අතර, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පහසුකම් පුළුල් කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම හේතුවෙන් දිනකට සම්පූර්ණ කරන අධිකරණ වෛද්‍ය වාර්තා සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව රැස්වීමේදී අනාවරණය විය.
සැප්තැම්බර් මාසයේ පමණක් මත්ද්‍රව්‍ය සම්බන්ධ අධිකරණ වෛද්‍ය වාර්තා 8,000ක් පමණ සම්පූර්ණ කර ඇති අතර, දත්ත ඇතුළත් කිරීමේ කටයුතු වේගවත් කිරීම සඳහා නාවික හමුදා සාමාජිකයන්ගේ සහායද ලබාගෙන තිබේ.
අධිකරණ වෛද්‍ය වාර්තා කඩිනමින් ලබාදීමට හැකිවීම හේතුවෙන් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැලකිය යුතු පිරිසකට ඇප ලබාගැනීමට හැකි වී ඇති බවත්, එමගින් බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීමටද හැකි වී ඇති බවත් නිලධාරීන් සඳහන් කළහ.
පාර්ලිමේන්තුව හමුවේ දැනට ඉදිරිපත් කර ඇති නව මත්ද්‍රව්‍ය පාලන පනත් කෙටුම්පත ඔක්තෝබර් පළමු සතියේදී අදාළ කාරක සභාව වෙත යොමු කර, එහි අනුමැතිය ලබාගෙන ඔක්තෝබර් තුන්වැනි සතිය වන විට පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
පොලිසිය, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ අධිකරණ පද්ධතිය එකිනෙකට සම්බන්ධ කෙරෙන මධ්‍යගත ඩිජිටල් පද්ධතියක් හා මෘදුකාංගයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණි.
එහිදී ඇතිවිය හැකි ප්‍රායෝගික ගැටලු සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා සහ අනෙකුත් අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
2025 අංක 7 දරන පනතට අනුව විශේෂඥ වාර්තා සහ රජයේ රස පරීක්ෂක වාර්තා විද්‍යුත් තැපෑල ඔස්සේ සෘජුවම අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට හැකි වන පරිදි ගෙන ඇති පියවර පිළිබඳවද ජනාධිපතිවරයා විමසා බැලීය.
නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීමේ ප්‍රගතියද මෙහිදී සමාලෝචනය කෙරිණි.
ජාත්‍යන්තර පාසල් තුළ මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් සහ ඒවායේ ප්‍රතිඵල පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
යොවුන් පරපුර ඉලක්ක කර ගනිමින් මත්ද්‍රව්‍ය භාවිතයේ භයානක ප්‍රතිවිපාක පිළිබඳව දැනුවත් කිරීම සඳහා සමාජ මාධ්‍ය වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
යුද්ධයෙන් පසු උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල මතුව ඇති මත්ද්‍රව්‍ය සම්බන්ධ අභියෝග සහ ඒවාට විසඳුම් ලබාදීම සඳහා ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
මත්ද්‍රව්‍ය ජාවාරම, බෙදාහැරීම සහ ඊට අදාළ අනෙකුත් නීතිවිරෝධී ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා හඳුන්වා දී ඇති 1818 දුරකථන අංකය අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කමද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
1818 දුරකථන අංකය වෙත ලැබෙන තොරතුරු සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා වැඩි ප්‍රචාරයක් ලබාදීමෙන් එම සේවාව කෙරෙහි මහජන විශ්වාසය තවදුරටත් ශක්තිමත් කළ යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය මෙන්ම පුනරුත්ථාපන මධ්‍යස්ථානවල ධාරිතාව ඉහළ නැංවීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳවද රැස්වීමේදී සමාලෝචනය කෙරිණි.


