ඩිට්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස හානි වූ ශ්‍රී ලංකාවේ කිලෝමීටර් 600ක පමණ මාර්ග ප්‍රතිසංස්කරණය සහ නැවත ඉදිකිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 110ක මූල්‍ය ආධාරයක් ලබාදීමට ලෝක බැංකුව අනුමැතිය ලබාදී තිබේ.
ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ අර්බුද ප්‍රතිචාර කවුළුව හරහා ලබාදෙන මෙම නව මූල්‍ය පහසුකම යටතේ, සුළි කුණාටුවෙන් දැඩි ලෙස බලපෑමට ලක් වූ ප්‍රජාවන්ට වෙළෙඳපොළ, පාසල් සහ සෞඛ්‍ය සේවා වෙත ප්‍රවේශය යළි ස්ථාපිත කිරීම සඳහා වැදගත් වන මාර්ග ප්‍රමුඛතාව ලබාගෙන ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය.
ප්‍රතිසංස්කරණය කෙරෙන මාර්ග දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන ප්‍රමිතීන්ට අනුව ඉදිකිරීමට නියමිත අතර, වැඩිදියුණු කළ ජල බැසයාමේ පද්ධති, නායයෑම් වැළැක්වීමේ ආරක්ෂණ ක්‍රම සහ වඩාත් නවීන ඉංජිනේරු ක්‍රමවේද ඊට ඇතුළත් වේ. ඒ අනුව අනාගතයේදී නිතර හා වඩාත් දැඩි ලෙස ඇතිවිය හැකි අයහපත් කාලගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන ආකාරයෙන් මෙම යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙනු ඇත.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ලෝක බැංකු සමූහයේ කළමනාකරු ගෙවෝර්ග් සර්ග්සියන් මහතා පැවසුවේ ඩිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සම්බන්ධතාවලට දැඩි බලපෑමක් එල්ල කළද, එම විනාශයෙන් පසු නැවත ගොඩනැගීම වඩාත් ශක්තිමත් යටිතල පහසුකම් නිර්මාණය කිරීමට අවස්ථාවක් ලබාදෙන බවයි.
“මෙය මාර්ග අලුත්වැඩියා කිරීම පමණක් නොවෙයි. ජනතාවගේ ජීවනෝපාය යළි ගොඩනැගීම, ගොවීන් නැවත වෙළෙඳපොළ සමඟ සම්බන්ධ කිරීම සහ පවුල් අත්‍යවශ්‍ය සේවා සමඟ යළි සම්බන්ධ කිරීම මෙන්ම අද නැවත ගොඩනගන යටිතල පහසුකම් අනාගත කම්පනවලට ඔරොත්තු දෙන බව සහතික කිරීමද මෙහි අරමුණයි,” යනුවෙන් ඔහු සඳහන් කළේය.
මෙම නව මූල්‍ය පහසුකම මගින් දැනට ක්‍රියාත්මක සියල්ලන් ඇතුළත් සම්බන්ධතා සහ සංවර්ධන ව්‍යාපෘතියේ කාලය තවත් වසර තුනකින් දීර්ඝ කෙරෙන අතර, ඒ අනුව එම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සම්බන්ධතා සඳහා ලෝක බැංකුව ලබාදෙන සමස්ත ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 610ක් දක්වා ඉහළ යනු ඇත.
මෙම ආයෝජනයෙන් පුද්ගලයන් 830,000කට වැඩි පිරිසකට සෘජුව ප්රතිලාභ හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, ඉලක්කගත දිස්ත්‍රික්ක අටක පුද්ගලයන් මිලියන දෙකකට ආසන්න පිරිසකට එහි ප්රතිලාභ ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එමෙන්ම මාර්ග ප්‍රතිසංස්කරණ සහ නඩත්තු කටයුතු හරහා නව රැකියා හෝ වැඩිදියුණු කළ රැකියා අවස්ථා 5,671ක් පමණ නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
තේ, එළවළු සහ වී වගාවේ නිරත ගොවීන් 22,000කට ආසන්න පිරිසකටද මෙම ව්‍යාපෘතියෙන් ප්රතිලාභ හිමිවනු ඇත. ඒ ඔවුන් නැවත ගැනුම්කරුවන් සහ සැපයුම් දාමයන් සමඟ සම්බන්ධ කිරීම හරහාය.
ඩිට්වා සුළි කුණාටුව 2025 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට බලපෑ අතර, එමගින් ඇස්තමේන්තුගත ඇමරිකානු ඩොලර් බිලියන 4.1ක හානියක් සිදුවී ඇති අතර දිස්ත්‍රික්ක 25 පුරා පුද්ගලයන් මිලියන දෙකකට ආසන්න පිරිසකට බලපෑම් එල්ල වී තිබේ.
ප්‍රවාහන ක්ෂේත්රයට පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 973ක පමණ හානියක් සිදුවී ඇති අතර, පළාත් මාර්ග කිලෝමීටර් 2,000කට ආසන්න ප්‍රමාණයක්, ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 3,500කට වැඩි ප්‍රමාණයක් සහ පාලම් 700කට ආසන්න සංඛ්‍යාවක් ඊට ඇතුළත් වේ. ප්‍රවාහන ක්ෂේත්රයේ ප්‍රතිසාධන අවශ්‍යතා ඇමරිකානු ඩොලර් බිලියන 1.31ක් පමණ වන බව ලෝක බැංකුව පවසයි.
මෙම ව්‍යාපෘතිය 2026 සිට 2030 දක්වා ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකු සමූහයේ රට හවුල්කාරීත්ව රාමුව සමඟද අනුකූල වේ. එම රාමුව මගින් ආර්ථික ප්‍රතිසාධනය සහ පෞද්ගලික අංශය මූලික කරගත් වර්ධනය සඳහා දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන යටිතල පහසුකම් සහ ප්‍රවාහන සම්බන්ධතා ප්‍රධාන පදනම් ලෙස හඳුනාගෙන තිබේ.


