තරගයක් අතරතුර තම පෙම්වතිය සමඟ ජංගම දුරකථනයෙන් කෙටි පණිවිඩ හුවමාරු කරගත් තමිල්නාඩු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වසර දෙකක තහනමකින් ගැලවී ඉන්දීය රුපියල් ලක්ෂයක දඩයකට යටත් කර ඇති බව PTI වාර්තා කරයි.
26 හැවිරිදි වමත් පිතිකරුවෙකු වන ඔහු, මෑතකදී පැවති තමිල්නාඩු ප්‍රිමියර් ලීග් තරගයකදී ක්‍රීඩකයන් සහ තරග නිලධාරීන් සඳහා වෙන් කළ ප්‍රදේශයේ (PMOA) නියමයන් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී සහ ආරක්ෂක ඒකකය (ACSU) විසින් මෙලෙස දඩයට යටත් කර තිබේ.
තමිල්නාඩු ක්‍රිකට් සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ තරගය පැවැත්වෙමින් තිබියදී එම ක්‍රීඩකයා ජංගම දුරකථනයක් භාවිත කරමින් තම පෙම්වතියට කෙටි පණිවිඩ යවමින් සිටියදී හඳුනාගෙන ඇති බවයි.
මෙම ක්‍රිකට් ක්‍රීඩකයාට එරෙහිව කිසිදු දූෂණ චෝදනාවක් එල්ල වී නොමැති නමුත්, තරගයක් අතරතුර PMOA ප්‍රදේශය තුළ ජංගම දුරකථන භාවිත කිරීම තහනම් බැවින් එය නියමයන් උල්ලංඝනය කිරීමක් ලෙස සලකා තිබේ.
විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බැවින් තමිල්නාඩු ක්‍රිකට් සංගමය ක්‍රීඩකයාගේ අනන්‍යතාව හෙළි කර නොමැත. කෙසේ වෙතත්, ඔහු වමත් පිතිකරුවෙකු වන අතර පසුගිය රංජි කුසලාන තරග වාරයේදී තමිල්නාඩුව වෙනුවෙන් අර්ධ ශතක දෙකක් ලබාගෙන ඇති බව තහවුරු කර තිබේ.
වාර්තා අනුව, බලධාරීන් මුලින් මෙම ක්‍රීඩකයාට වසර දෙකක තරග තහනමක් පැනවීම පිළිබඳව සලකා තිබේ.
කෙසේ වෙතත්, සිදුවීමේ ස්වභාවය සහ කිසිදු දූෂණ චෝදනාවක් නොමැති වීම සැලකිල්ලට ගනිමින් අවසානයේ ඔහුට ඉන්දීය රුපියල් ලක්ෂයක දඩයක් පමණක් පනවා තිබේ.


