සිසුන්ට බෙදාදීමට තිබූ රු. ලක්ෂ 8ක පෙළපොත් කුණු කඩයට විකිණූ රියදුරා ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

නැගෙනහිර පළාතේ සිසුන් අතර බෙදාදීම සඳහා නිකුත් කර තිබූ රුපියල් ලක්ෂ 8ක් පමණ වටිනා පෙළපොත් තොගයක් අතුරුදන්වීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

තලංගම පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම පෙළපොත් ප්‍රවාහනය කළ ලොරි රථයේ රියදුරා විසින් පොත් තොගය රුපියල් 47,000කට පරණ යකඩ සහ අපද්‍රව්‍ය මිලදී ගන්නෙකුට අලෙවි කර ඇති බවයි.

නැගෙනහිර පළාතේ සිසුන් වෙත බෙදාහැරීම සඳහා පෙළපොත් 19,892ක් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් බියගම ප්‍රදේශයේ පිහිටි ඒ සඳහා කොන්ත්‍රාත් ලබාගත් සමාගමකට භාරදී තිබිණි.

එම සමාගමට අනුයුක්ත ලොරි රථ රියදුරා මැයි මාසයේදී මෙම පෙළපොත් තොගය භාරගෙන තිබුණද, නියමිත පරිදි ඒවා බෙදාහැරීමට කටයුතු කර නොමැත.

පසුව පෙළපොත් නිසි පරිදි භාරදී නොමැති බව අනාවරණය වීමෙන් අනතුරුව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු තලංගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

විමර්ශන අතරතුර ලොරි රථ රියදුරා අත්අඩංගුවට ගත් පොලිසිය, ඔහු විසින් පෙළපොත් තොගය බර අනුව අපද්‍රව්‍ය කඩදාසි ලෙස සලකා පරණ යකඩ සහ අපද්‍රව්‍ය මිලදී ගන්නෙකුට විකුණා ඇති බව අනාවරණය කරගෙන ඇත.

පසුව පෙළපොත් මිලදී ගත් පුද්ගලයාද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රශ්න කිරීම්වලදී එම පුද්ගලයා අනාවරණය කර ඇත්තේ තමන් මිලදී ගත් පෙළපොත් පසුව පැරණි පුවත්පත් සහ කඩදාසි ප්‍රතිචක්‍රීකරණය කරන පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයකට අලෙවි කළ බවයි.

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිපදෙනෙකු හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *