ජාතික ලොතරැයි මණ්ඩලයේ (NLB) පරිගණක පාදක ලොතරැයි පත්‍ර මුද්‍රණය, සැපයීම සහ බෙදාහැරීම සඳහා වසරක කාලයකට කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
ගොවිසෙත, NLB හඳහන, මෙගා පවර්, ධන නිධානය, NLB ජය, අද සම්පත සහ සුබ දිරැක යන ලොතරැයි වර්ග හත සඳහා ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය යටතේ NLB විසින් ලංසු කැඳවා තිබුණි.
ඒ සඳහා ලංසු පහක් ඉදිරිපත් වී තිබූ අතර, උසස් මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ සහ ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ නිර්දේශ මත අවම ලංසු ඉදිරිපත් කළ ආයතන වෙත කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව, රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව වෙත වැට් බද්ද හැර,
- ගොවිසෙත ලොතරැයි පත්‍ර මුද්‍රණය, සැපයීම සහ බෙදාහැරීම සඳහා රුපියල් මිලියන 103.42
- NLB හඳහන සඳහා රුපියල් මිලියන 91.30
- මෙගා පවර් සඳහා රුපියල් මිලියන 88.22
- ධන නිධානය සඳහා රුපියල් මිලියන 73.16
කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමට නියමිතය.
මේ අතර, Ceylon Business Appliances (Private) Ltd. වෙත වැට් බද්ද හැර,
- NLB ජය සඳහා රුපියල් මිලියන 83.36
- අද සම්පත සඳහා රුපියල් මිලියන 67.80
- සුබ දිරැක සඳහා රුපියල් මිලියන 72.86
කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමට අනුමැතිය ලබාදී තිබේ.
මෙම කැබිනට් යෝජනාව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කර ඇත.


