කොළඹ වරාය නගරයේ ව්‍යාපාර 68ක් උපායමාර්ගික වැදගත්කමක් ඇති ව්‍යාපාර ලෙස නම් කිරීමට අනුමැතිය

කොළඹ වරාය නගරයේ ක්‍රියාත්මක ව්‍යාපාර 68ක් උපායමාර්ගික වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාර ලෙස නම් කරමින් සකස් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෙම ව්‍යාපාර තොරතුරු තාක්ෂණය, උපදේශන සේවා, ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණය (BPO), සැපයුම් හා ප්‍රවාහන සේවා, යටිතල පහසුකම්, දෙමුහුන් හා ඒකාබද්ධ ව්‍යාපාර ආකෘති මෙන්ම අනෙකුත් සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු ඇතුළු ක්ෂේත්‍ර රැසක ක්‍රියාත්මක වේ.

2021 අංක 11 දරන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත යටතේ මෙම ව්‍යාපාර උපායමාර්ගික වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාර ලෙස නම් කිරීමට 2026 මාර්තු 30 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව, අදාළ ව්‍යාපාර 68 උපායමාර්ගික වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාර ලෙස නම් කරන රෙගුලාසි 2026 අප්‍රේල් 10 වැනිදා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත.

මෙම රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙවර අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *