කොළඹ පොත් ප්‍රදර්ශනයට යන විට පරිසර හිතකාමී බෑගයක් රැගෙන එන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක්

මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පොත් මිලදී ගැනීමට පැමිණෙන විට නැවත භාවිත කළ හැකි පරිසර හිතකාමී බෑගයක් රැගෙන එන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 25 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කර පරිසරය ආරක්ෂා කිරීම මෙහි අරමුණ වී තිබේ.

පසුගිය වසරවල පැවති පොත් ප්‍රදර්ශනවලදී පොත් රැගෙන යාම සඳහා පැමිණෙන ජනතාව විසින් ප්ලාස්ටික් “සිලි සිලි” බෑග් විශාල වශයෙන් භාවිත කළ බව නිරීක්ෂණය වී ඇති බවද මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.

2025 ඔක්තෝබර් 1 වැනිදා නිකුත් කළ අංක 2456/41 දරන ගැසට් නිවේදනයට අනුව, පාරිභෝගික කටයුතු අධිකාරි පනත යටතේ අත් සහිත ප්ලාස්ටික් බෑග් පාරිභෝගිකයන්ට නොමිලේ ලබාදීම තහනම් කර තිබේ.

එවැනි බෑග් අලෙවි කරන්නේ නම්, ඒ සඳහා අය කරන මිල රිසිට්පතේ පැහැදිලිව සඳහන් කළ යුතුය.

තනි භාවිත ප්ලාස්ටික් සහ පොලිතීන් හේතුවෙන් සිදුවන පාරිසරික හානිය අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කර ඇති පුළුල් වැඩපිළිවෙළේ කොටසක් ලෙස මෙම නීති ක්‍රියාත්මක වේ.

ප්ලාස්ටික් සාප්පු බෑග්වලට අමතරව, තනි භාවිත ප්ලාස්ටික් පිදුරු, බීම කලවම් කරන කූරු, පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු, පිහි, චොප්ස්ටික් සහ පොලිතීන්වලින් නිෂ්පාදිත ආහාර ආවරණ තහඩු අලෙවි කිරීම, නොමිලේ බෙදාහැරීම, ප්‍රදර්ශනය කිරීම හෝ භාවිත කිරීමද නීතියෙන් තහනම් කර තිබේ.

පොත් ප්‍රදර්ශන භූමියේ ඇති ආහාර අලෙවිසැල්වල තහනම් ප්ලාස්ටික් භාවිත නොකිරීම සහතික කිරීම සඳහා එම අලෙවිකරුවන් සමඟ මේ වන විටත් එකඟතාවන්ට පැමිණ ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේය.

අලෙවිකරුවන් සහ පාරිභෝගිකයන් අතර මේ සම්බන්ධයෙන් දැනුවත්භාවය ඉහළ නැංවීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය සහ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය එක්ව පොත් ප්‍රදර්ශනය අතරතුර විශේෂ වැඩසටහනක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එම වැඩසටහන “නුවණින් කියවන්න, නුවණින් රැගෙන යන්න” යන තේමාව යටතේ ක්‍රියාත්මක කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *