ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැළෙන අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ අද (11) උදෑසන වන විට පිටාර මට්ටමට පැමිණ ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පවසති.
පසුගිය පැය 24 තුළ මිලිමීටර් 25ක වර්ෂාපතනයක් ලැබීමත් සමඟ කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට වඩා අඩි 1.2කින් ඉහළ ගොස් තිබේ.
මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට වඩා අඩි 3.4කින් ඉහළ ගොස් ඇති අතර, එම කාලය තුළ එම ප්‍රදේශයට මිලිමීටර් 29ක වර්ෂාපතනයක් ලැබී ඇත.
ජල මට්ටම් ඉහළ යාමත් සමඟ කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර ජලාශ ආශ්රිත විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවයෙන් සිදුකරමින් පවතී.
මේ අතර, ජල මට්ටම් තවදුරටත් ඉහළ ගියහොත් පිටවාන දොරටු විවෘත කිරීමට සිදුවිය හැකි බැවින් මස්කෙළිය ඔය ජලාශයේ දෙපස පදිංචිකරුවන් අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් දැනුම් දී තිබේ.


