ඔස්ට්‍රේලියානු කාන්තාවක් එකම ගර්භණී කාලයකදී වෙනස් ජීව විද්‍යාත්මක දෙමාපියන්ට අයත් නිවුන් දරුවන් දෙදෙනෙකු බිහිකර තිබේ. එහිදී එක් දරුවෙකු ඇයගේම ස්වභාවික ගැබ් ගැනීමකින් පිළිසිඳගෙන ඇති අතර, අනෙක් දරුවා වෙනත් යුවළක් වෙනුවෙන් ඇය දරා සිටි කළලයකින් පිළිසිඳගෙන ඇත.
මෙම අතිශය දුර්ලභ සිදුවීම ක්වීන්ස්ලන්තයේදී සිදුවී ඇති අතර, 27 හැවිරිදි එම කාන්තාව දරුවෙකු දරා ගැනීමට නොහැකි යුවළක් වෙනුවෙන් පරාර්ථකාමී ආදේශක මවක් ලෙස කටයුතු කිරීමට එකඟ වී තිබිණි.
අදාළ යුවළට අයත් කළලයක් 2025 අප්‍රේල් මාසයේදී ඇයගේ ගර්භාෂයට ඇතුළත් කර තිබේ.
කෙසේ වෙතත්, එම කාලය ආසන්නයේදීම ඇය සිය සැමියා සමඟ ස්වභාවිකවද ගැබ්ගෙන තිබේ.
කළලය ඇතුළත් කර සති දෙකකට පමණ පසු සිදුකළ අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණයකදී ඇය දරුවන් දෙදෙනෙකු දරා සිටින බව අනාවරණය වී ඇත.
පසුව සිදුකළ ජාන පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ ගැහැණු දරුවා අදාළ යුවළගේ ජීව විද්‍යාත්මක දරුවා බවත්, පිරිමි දරුවා ආදේශක මව සහ ඇගේ සැමියාගේ ජීව විද්‍යාත්මක දරුවා බවත්ය.
දරුවන් දෙදෙනාම 2025 නොවැම්බර් මාසයේදී උපත ලබා ඇති අතර, එතැන් සිට එක් එක් යුවළ තම ජීව විද්‍යාත්මක දරුවා හදා වඩා ගනිමින් සිටී. දරුවන්ගේ දෙමාපියත්වය සම්බන්ධයෙන් පවුල් දෙක අතර කිසිදු ආරවුලක්ද ඇති වී නොමැත.
කෙසේ වෙතත්, මෙම අසාමාන්‍ය තත්ත්වය හේතුවෙන් නීතිමය ගැටලුවක් මතුව තිබේ. ක්වීන්ස්ලන්තයේ ආදේශක මව් ක්‍රමය සම්බන්ධ නීති යටතේ, එකම දරු උපතකදී උපන් “උපත් සහෝදර සහෝදරියන්” වෙනස් දෙමාපියත්ව නියෝග යටතේ වෙන් කිරීම සාමාන්‍යයෙන් වළක්වා තිබීම ඊට හේතුවයි.
මේ සම්බන්ධ නඩුව ක්වීන්ස්ලන්ත ළමා අධිකරණය හමුවට ගිය අතර, විනිසුරු ජොඩි වුල්ඩ්රිජ් තීන්දු කළේ මෙම පිරිමි සහ ගැහැණු දරුවන් “එකම ගර්භණී කාලයකදී වර්ධනය වූ නිවුන් දරුවන්” වුවද, මෙම සුවිශේෂී තත්ත්වය සැලකිල්ලට ගත් විට ආදේශක මව් ක්‍රමය සම්බන්ධ නීති යටතේ ඔවුන් “උපත් සහෝදර සහෝදරියන්” ලෙස නොසැලකෙන බවයි.
එම තීන්දුව මගින් දරුවන්ගේ දෙමාපියත්වයට අදාළ විධිවිධාන නීත්‍යානුකූලව පිළිගැනීමට හැකි වී තිබේ.
ස්වාධීන උපදේශකවරයෙකුද අධිකරණයට දන්වා ඇත්තේ දරුවන් දෙදෙනා වෙන වෙනම ඇතිදැඩි කිරීම හේතුවෙන් පමණක් ඔවුන්ට මානසික හානි සිදුවීමේ ඉඩකඩ අඩු බවයි. ඒ සඳහා ඔවුන් ස්ථාවර සහ සහයෝගය ලබාදෙන පවුල් පරිසරයන් තුළ හැදී වැඩීම වැදගත් බවද උපදේශකවරයා පෙන්වා දී තිබේ.
දරුවන් දෙදෙනා එකිනෙකා හඳුනාගෙන වැඩෙන බවත්, ඔවුන්ගේ උපත වටා ඇති මෙම අසාමාන්‍ය තත්ත්වය පිළිබඳව ඔවුන්ගේ වයසට ගැළපෙන ආකාරයෙන් අවබෝධයක් ලබාදෙන බවත් පවුල් දෙකම ප්‍රකාශ කර තිබේ.


