ඉන්දුනීසියාවේ ජාත්‍යන්තර ඔලිම්පියාඩ් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට පදක්කම් 13ක්

ඉන්දුනීසියාවේ පැවති ජාත්‍යන්තර ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේදී ශ්‍රී ලාංකික සිසුන් රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 10ක් ඇතුළුව පදක්කම් 13ක් දිනාගෙන තිබේ.

ජාත්‍යන්තර තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සිසුන් බදාදා (07) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් මෙරටට පැමිණියහ.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ඔක්තෝබර් 2 වැනිදා සිට 6 වැනිදා දක්වා ඉන්දුනීසියාවේ බටහිර ජාවා ප්‍රදේශයේ පැවති මෙම තරගාවලියට රටවල් 23ක නියෝජිතයන් සහභාගී වූ බවයි.

ගණිත අංශයෙන් සිසුන් 12 දෙනෙකු සහ විද්‍යා අංශයෙන් සිසුන් 12 දෙනෙකු ඇතුළුව සිසුන් 24 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාව නියෝජනය කළේය.

ගණිත අංශයෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 6ක් හිමිවූ අතර, විද්‍යා අංශයෙන් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනා ගැනීමට සිසුහු සමත් වූහ.

පාසල්, කලාප, පළාත් සහ ජාතික මට්ටමින් පැවැත්වූ තරගාවලි මාලාවකින් අනතුරුව මෙම සිසුන් තෝරාගෙන තිබේ. ජාතික මට්ටමේ තරගවලදී වැඩිම ලකුණු ලබාගත් සිසුන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා තෝරාගෙන පසුව විධිමත් පුහුණුවකටද යොමු කර ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන ගුණාත්මකභාවය සංවර්ධන අංශයේ විද්‍යා හා ගණිත ශාඛා හරහා සිසුන් මෙම ජාත්‍යන්තර තරගාවලියට නම් කර තිබේ.

ඔක්තෝබර් 2 වැනිදා ඉන්දුනීසියාව බලා පිටත්වීමට පෙර සිසුන් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී අග්‍රාමාත්‍යවරිය සහ අධ්‍යාපන අමාත්‍යවරිය වන හරිනි අමරසූරිය මහත්මිය හමුවී ඇත.

මෙහිදී පළමු වරට සහභාගී වූ සිසුන් 24 දෙනාගේම ගුවන් ටිකට්පත්වල සම්පූර්ණ වියදම අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දරා තිබේ. පිටත්වීමට පෙර අග්‍රාමාත්‍යවරිය විසින් සිසුන් වෙත එම ගුවන් ටිකට්පත් නිල වශයෙන් පිරිනමන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *