ඇෆ්ගනිස්ථානයට පාකිස්තානයෙන් ගුවන් ප්‍රහාර: සටන්කාමීන් 22ක් මරා දැමූ බව කියයි

ඇෆ්ගනිස්ථානයේ ස්ථාන දෙකක සන්නද්ධ කණ්ඩායම් භාවිත කළ “කඳවුරු සහ සැඟවුණු ස්ථාන” ඉලක්ක කරමින් ගුවන් ප්‍රහාර එල්ල කළ බවත්, එහිදී සටන්කාමීන් 22 දෙනෙකු පමණ මියගිය බවත් පාකිස්තානය පවසයි.

කෙසේ වෙතත්, කාබුල් පාලනය චෝදනා කරන්නේ පාකිස්තානය විසින් එල්ල කළ ප්‍රහාරවලින් කුනර් සහ හෙල්මන්ඩ් පළාත්වල කාන්තාවන් සහ ළමුන් ඇතුළු අවම වශයෙන් පුද්ගලයන් 9 දෙනෙකු මියගිය බවයි. දෙපාර්ශ්වය ඉදිරිපත් කරන මරණ සංඛ්‍යා ස්වාධීනව තහවුරු කරගත නොහැකි වී තිබේ.

ඇෆ්ගනිස්ථාන රජයේ ප්‍රකාශක සබිහුල්ලා මුජාහිද් පැවසුවේ බදාදා රාත්‍රියේ ප්‍රහාර එල්ල වී ඇති අතර, ඉන් පුද්ගලයන් 9 දෙනෙකු මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

ඔහු X සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ සටහනක සඳහන් කළේ ඊසානදිග ඇෆ්ගනිස්ථානයේ පිහිටි කුනර් සහ දකුණුදිග හෙල්මන්ඩ් පළාත්වලට එල්ල වූ මෙම ප්‍රහාරවලින් නිවාස තුනක් විනාශ වී ඇති බවයි.

“අපි මෙම ක්‍රියාව හෙළා දකින අතර, එය පිළිගත් සියලු මූලධර්මවලට එරෙහි ආක්‍රමණයක් සහ අපරාධයක් ලෙස සලකමු,” යනුවෙන් ඔහු සඳහන් කළේය.

මෙම ප්‍රහාර එල්ල වී ඇත්තේ මාස තුනක පමණ සාපේක්ෂ නිහඬතාවකින් පසුව පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය අතර සටන් තත්ත්වය යළි උග්‍ර වෙමින් පවතින පසුබිමකය.

පාකිස්තානය චෝදනා කරන්නේ තම භූමියට දේශසීමා හරහා ප්‍රහාර එල්ල කරන Tehrik-i-Taliban Pakistan ඇතුළු සන්නද්ධ කණ්ඩායම්වලට ඇෆ්ගනිස්ථාන රජය රැකවරණය ලබාදෙන බවයි.

කෙසේ වෙතත්, ඇෆ්ගනිස්ථාන රජය එම චෝදනාව ප්‍රතික්ෂේප කරන අතර, පාකිස්තානය එල්ල කරන ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන්ගේ නිවාස ඉලක්ක වී කාන්තාවන් සහ ළමුන් මියයමින් හා තුවාල ලබමින් සිටින බව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *