ටික්ටොක් වීඩියෝවක් මරු කැඳවයි: වන සතෙකුගේ ප්‍රහාරයෙන් 19 හැවිරිදි තරුණයෙක් මරුට

පාකිස්තානයේ ලාහෝර් නුවර පෞද්ගලික ගොවිපළක ටික්ටොක් (TikTok) වීඩියෝවක් රූගත කරමින් සිටියදී විශාල වන බිළාල පවුලේ සතෙකු (Big cat) පහර දීමෙන් 19 හැවිරිදි පාකිස්තාන තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු සහ ගොවිපළේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.
තල්හා (Talha) නමැති මෙම තරුණයා කහ්නා (Kahna) ප්‍රදේශයේ පිහිටි වනජීවී අභිජනන ගොවිපළක සේවය කරමින් සිටියදී, සමාජ මාධ්‍ය වීඩියෝවක් සඳහා සූදානම් වෙමින් සිටි අවස්ථාවේ මෙම ප්‍රහාරයට ලක්ව ඇත.
පොලීසිය පවසන පරිදි, නෞමන් හසන් (Nouman Hassan) නමැති ටික්ටොක් ක්‍රියාකාරිකයා මෙම සත්ත්වයා යොදාගෙන වීඩියෝ පටිගත කිරීම සඳහා ගොවිපළට පැමිණ ඇති අතර, එහිදී පාලනයෙන් ගිලිහුණු සත්ත්වයා තරුණයාට පහර දී තිබේ. බරපතළ තුවාල ලැබූ තල්හා පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
මරණය සැඟවීමට උත්සාහ කළ බවට චෝදනා
සිද්ධියට අදාළව පොලීසිය විසින් හසන් සහ ගොවිපළේ හිමිකරු වන ෆයියාස් (Fayyaz) අත්අඩංගුවට ගෙන තිබේ. තරුණයාගේ තුවාල සුනඛයෙකුගේ සපාකෑමකින් සිදුවූ බව පවසමින් මරණයට හේතුව වසන් කිරීමට උත්සාහ කර ඇති බව ද විමර්ශකයින් විසින් අනාවරණය කරගෙන ඇත. කෙසේ වෙතත්, ඔහුට පහර දී ඇත්තේ විශාල වන සතෙකු බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු විය.
අදාළ සත්ත්වයා පසුව පන්ජාබ් වනජීවී දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති අතර, එම සත්ත්වයා තබා ගැනීමට ගොවිපළට වලංගු බලපත්‍ර තිබුණේද සහ ප්‍රමාණවත් ආරක්ෂක පියවර ගෙන තිබුණේද යන්න පිළිබඳව බලධාරීන් විමර්ශන ආරම්භ කර තිබේ. සිදුව ඇතැයි කියන නොසැලකිලිමත්කම සහ සිද්ධිය යටගැසීමට ගත් උත්සාහය පිළිබඳව ද පොලීසිය පරීක්ෂණ පවත්වයි.
විනෝදාස්වාදය හෝ සමාජ මාධ්‍ය අන්තර්ගතයන් වෙනුවෙන් මිනිස් ජීවිත අවදානමේ හෙළිය නොහැකි බව ලාහෝර් මෙහෙයුම් නියෝජ්‍ය පොලිස්පති ෆයිසාල් කම්රාන් (Faisal Kamran) මහතා ප්‍රකාශ කළේය. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ නඩුවක් ගොනු කර ඇති අතර, මියගිය තරුණයාගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කර ඇත.
සමාජ මාධ්‍ය වීඩියෝ සඳහා භයානක වන සතුන් යොදා ගැනීම සහ පාකිස්තානයේ පෞද්ගලික වනජීවී මධ්‍යස්ථානවල සේවකයන්ගේ ආරක්ෂාව පිළිබඳව මෙම සිදුවීමත් සමඟ යළිත් දැඩි අවධානයක් යොමුව තිබේ.




