අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයාගේ අවධානය

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර බදාදා අනුරාධපුර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් එහි විවිධ අංශ පරීක්ෂා කර සිරකරුවන්ගේ අවශ්‍යතා සහ සුබසාධනය පිළිබඳ සොයා බලා තිබේ.

මෙහිදී අමාත්‍යවරයා කාන්තා අංශය, බන්ධනාගාර මුළුතැන්ගෙය සහ රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන් රඳවා සිටින ප්‍රදේශ නිරීක්ෂණය කර තිබේ. එමෙන්ම විවෘත බන්ධනාගාර කඳවුරේ රැඳවියන් අමතාද ඔහු අදහස් පළ කර ඇත.

මෙම සංචාරයට සමගාමීව අනුරාධපුර බන්ධනාගාරය තුළ නව ඒකාබද්ධ හදිසි ප්‍රතිචාර යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමද සිදුකර තිබේ. හදිසි අවස්ථාවලදී රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම සහ සිරකරුවන්ගේ සුබසාධනය ශක්තිමත් කිරීම මෙහි අරමුණයි.

රට තුළ පිහිටි අනෙකුත් බන්ධනාගාරවලද මෙවැනි ඒකාබද්ධ යාන්ත්‍රණ ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර තිබේ. ඒ යටතේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පොලිසිය, ත්‍රිවිධ හමුදාව, සෞඛ්‍ය බලධාරීන් සහ අනෙකුත් අදාළ රාජ්‍ය ආයතන එක්ව කටයුතු කිරීමට නියමිතය.

අනුරාධපුර දිස්ත්‍රික් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රාජ්‍ය ආයතන කිහිපයක නියෝජිතයන්ද මෙම වැඩසටහනට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *