අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඔක්තෝබර් 9 වැනිදා පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්වේච්ඡා උපදේශක සභාව සමඟ පැවති හමුවකදී මෙම කරුණු අනාවරණය කළාය.
1. නව විෂයමාලා සහ ශිෂ්‍ය ඇගයීම් රාමුවට අනුමැතිය
ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව සකස් කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සංකල්ප පත්‍රිකාවටත්, ජාතික අධ්‍යාපන ආයතනය ඉදිරිපත් කළ සංශෝධිත ජාතික විෂයමාලා රාමුවටත්, 1 සිට 11 ශ්‍රේණිය දක්වා ශිෂ්‍ය ඇගයීම් රාමුවටත් කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
කෙසේ වෙතත්, අ.පො.ස. උසස් පෙළ සිසුන් සඳහා වන ඇගයීම් රාමුව තවමත් සකස් කරමින් පවතී.
2. පාසල් ඩිජිටල්කරණයට රුපියල් බිලියන 96ක ව්‍යාපෘතියක්
පාසල් පද්ධතිය තුළ ඩිජිටල් අධ්‍යාපනය සංවර්ධනය කිරීම සඳහා වසර පහක කාලයක් තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත රුපියල් බිලියන 96ක ව්‍යාපෘතියකට ප්‍රතිපත්තිමය අනුමැතිය හිමිව ඇත.
අධ්‍යාපන ක්ෂේත්රය ඩිජිටල්කරණය කිරීම සම්බන්ධ පුළුල් ප්‍රතිපත්තිය ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර, එය ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ.
ශ්‍රේණි කාණ්ඩ පහකට අයත් සිසුන් සඳහා අන්තර්ජාල ආරක්ෂාව සහ ඩිජිටල් යහපැවැත්ම පිළිබඳ මාර්ගෝපදේශ සකස් කර ඇති බව නිලධාරීහු සඳහන් කළහ. එහි නියමු ව්‍යාපෘතිය නොවැම්බර් මාසයේදී ආරම්භ කිරීමටත්, 2027 වසරේ මුල් භාගයේදී සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමටත් සැලසුම් කර තිබේ.
3. 2028 සිට උසස් අධ්‍යාපනයට පොදු අයදුම් කිරීමේ ක්‍රමවේදයක්
අ.පො.ස. උසස් පෙළ විභාගය අවසන් කරන සිසුන්ට විශ්වවිද්‍යාල, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සහ වෘත්තීය පුහුණු ආයතන සඳහා එක් ඩිජිටල් වේදිකාවක් හරහා අයදුම් කළ හැකි පොදු ඇතුළත් වීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට රජය සැලසුම් කර තිබේ.
ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිය සකස් කරන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට සහ අදාළ අනෙකුත් ආයතනවලට උපදෙස් ලබාදී ඇත. මෙම වැඩපිළිවෙළේ නියමු ව්‍යාපෘතිය 2028 වසරේදී ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.
දැනට සිසුන්ට විවිධ ආයතන සඳහා වෙන වෙනම අයදුම්පත් ඉදිරිපත් කිරීමට සිදුවීමෙන් ඇතිවන පරිපාලන දුෂ්කරතා මෙම ක්‍රමවේදය මඟින් අවම කිරීමට හැකි වනු ඇතැයි අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
මේ අතර, අධ්‍යාපන සභාවක් පිහිටුවීම සම්බන්ධ වාර්තාවකට සහ රාජ්‍ය නොවන ආයතන මඟින් උපාධි පිරිනැමීම නියාමනය කිරීමේ ප්රතිපත්තියකට ද කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ගුරු බඳවාගැනීම් හා ස්ථාන මාරු, පාසල්වල සනීපාරක්ෂක පහසුකම්, සිසුන්ගේ පෝෂණය සහ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ද මෙම හමුවේදී සාකච්ඡා කර ඇත.
තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනයේදී කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීම සහ කර්මාන්ත ක්ෂේත්රය සමඟ සම්බන්ධ පුහුණු අවස්ථා පුළුල් කිරීම කෙරෙහි ද එහිදී අවධානය යොමු වී තිබේ.


