දකුණු පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙකුට ඇප

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් ඊයේ (29) අත්අඩංගුවට ගනු ලැබූ දකුණු පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ.

2019 වසරේදී ගාල්ලේ පෞද්ගලික සැපයුම්කරුවෙකුගෙන් අත්වාරු නොමැති ප්ලාස්ටික් පුටු 408ක් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන ප්‍රසම්පාදන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබුණි.

එවකට ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය ලබා නොගෙන එම ප්‍රසම්පාදන ක්‍රියාවලිය නැවත ක්‍රියාත්මක කර ඇති බවට CIABOC විමර්ශකයින් චෝදනා කරයි.

ඇප මත මුදාහැර ඇත්තේ දකුණු පළාත් සභා ප්‍රධාන ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්) සහ හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම් හා මෙහෙයුම්) යන නිලධාරීන් දෙදෙනාය.

අදාළ ප්‍රසම්පාදන අක්‍රමිකතා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *