S&P Global Ratings ආයතනය ශ්‍රී ලංකාවේ දිගුකාලීන සහ කෙටි කාලීන විදේශ හා දේශීය මුදල් ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම් ‘CCC+/C’ ලෙස ස්ථාවර දැක්මක් (stable outlook) සමඟ තහවුරු කර තිබේ.
ශ්‍රී ලංකාව මුහුණ දෙන බාහිර අභියෝග රැසක් මධ්‍යයේ වුවද ආර්ථිකය යම් ස්ථාවරත්වයක් පවත්වාගෙන ඇති බවත්, ආදායම් වර්ධනය ශක්තිමත් වීම මගින් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයට සහ ණය සේවාකරණ බර අඩු කිරීමට සහාය වී ඇති බවත් ශ්‍රේණිගත කිරීමේ ආයතනය සඳහන් කළේය.
කෙසේ වෙතත්, ආනයන වියදම් ඉහළ යාම සහ මැදපෙරදිග ගැටුමේ බලපෑම හේතුවෙන් සංචාරක ආදායම් හා විදේශගත ශ්‍රමික ප්‍රේෂණ අඩුවීම නිසා මේ වසරේ ශ්‍රී ලංකාවේ බාහිර මූල්‍ය තත්ත්වය දුර්වල විය හැකි බවට S&P අනතුරු අඟවා තිබේ. එම තත්ත්වය විදේශ විනිමය සංචිත යළි ගොඩනැගීමේ ක්‍රියාවලිය මන්දගාමී කළ හැකි බවද එම ආයතනය පෙන්වා දෙයි.
එමෙන්ම, විදේශයට මුදල් මාරු කිරීම සහ දේශීය මුදල් විදේශ විනිමයට පරිවර්තනය කිරීම සම්බන්ධ අවදානම් අඩු වී ඇති බව සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ Transfer and Convertibility Assessment ශ්‍රේණිය ‘CCC+’ සිට ‘B-’ දක්වා ඉහළ නංවා තිබේ.
ඉදිරි මාස 6ත් 12ත් අතර කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වනු ඇතැයි S&P අපේක්ෂා කරයි. කෙසේ වෙතත්, බාහිර ඉල්ලුම, උද්ධමනය සහ මූල්‍ය පහසුකම් සම්බන්ධ අවදානම් පවතින බැවින් එම කාලය තුළ රටේ ණය ශ්‍රේණිගත කිරීමේ තත්ත්වයේ සැලකිය යුතු දියුණුවක් සිදුවනු ඇතැයි අපේක්ෂා නොකරන බවද සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තවමත් ඉහළ මට්ටමක පවතින බවත්, රජයේ පොලී ගෙවීම් ආදායමෙන් සියයට 45කට ආසන්න ප්‍රමාණයක් වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති බවත් S&P සඳහන් කළේය.
ආර්ථික වර්ධනය 2026 වසරේදී සියයට 3.8ක් දක්වා මන්දගාමී විය හැකි නමුත්, 2027 වසරේදී එය සියයට 4.2ක් දක්වා යළි වර්ධනය වනු ඇතැයි S&P පුරෝකථනය කරයි.
වඩා ශක්තිමත් ආර්ථික වර්ධනයක්, රාජ්‍ය මූල්‍ය හා බාහිර මූල්‍ය දර්ශකවල තවදුරටත් වැඩිදියුණු වීමක් සිදුවුවහොත් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවිය හැකි බව S&P පවසයි.
එහෙත් රාජ්‍ය මූල්‍ය හෝ බාහිර මූල්‍ය කාර්යසාධනය දුර්වල වීම, නැවත මූල්‍ය පහසුකම් හෝ ද්‍රවශීලතා පීඩනයක් ඇති වීම ණය ශ්‍රේණිගත කිරීම පහත දැමීමට හේතු විය හැකි බවද එම ආයතනය අනතුරු අඟවා තිබේ.


