Monday, 9 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

විනිසුරුවරුන්ගේ හදිසි මාරුවීම් සහ සංඝයාට එරෙහි ප්‍රහාර ගැන විවාද ඉල්ලා පොහොට්ටුවෙන් සජිත්ට ලියුමක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

මෑතකදී මහා සංඝරත්නය ඉලක්ක කරගනිමින් එල්ල වන බව කියන විවිධ අඩන්තේට්ටම් සහ ආණ්ඩුවට අවාසිදායක නඩු තීන්දු ලබාදුන් විනිසුරුවරුන්ගේ හදිසි ස්ථාන මාරුවීම් පිළිබඳව පාර්ලිමේන්තුවේ කඩිනම් විවාද දෙකක් ලබාගැනීමට මැදිහත් වන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

පොහොට්ටු පක්ෂයේ ප්‍රධාන ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතාගේ අත්සනින් යුතුව යොමුකර ඇති එම ලිපිය මඟින් පෙන්වා දෙන්නේ, මෙම කරුණු ද්විත්වයම රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ජාතික වැදගත්කම හා සෘජුව බැඳී පවතින බරපතළ ප්‍රශ්න බවයි.

මහා සංඝරත්නය ඉලක්ක කරගනිමින් සිදුවන ඇතැම් සිදුවීම්, නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල හැසිරීම මෙන්ම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ භික්ෂූන් වහන්සේලා ඉලක්ක කර දියත් කර ඇති විවිධ මඩ ව්‍යාපාරයන් පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කර ඇත.

ආණ්ඩුවට එරෙහි තීන්දු දුන් විනිසුරුවන් මාරු කළාද?

විශේෂයෙන්ම, වත්මන් ආණ්ඩුවට අවාසිදායක වන ආකාරයේ තීන්දු තීරණ ලබාදුන් විනිසුරුවරුන් ක්ෂණිකව ස්ථාන මාරු කිරීම්වලට ලක්කිරීම පිළිබඳව සමාජය තුළ බරපතළ සැකසංකා සහ ප්‍රශ්න කිරීම් මතුව ඇති බව එම ලිපියේ සඳහන් වේ. අධිකරණයේ ස්වාධීනත්වය සහ අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය ආරක්ෂා කරගැනීම සඳහා මේ පිළිබඳව විනිවිදභාවයෙන් යුත් නිල පැහැදිලි කිරීමක් අත්‍යවශ්‍ය බව කාරියවසම් මහතා පෙන්වා දෙයි.

ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය විවාදය ආරම්භ වීමත් සමඟ මෙවැනි තීරණාත්මක ජාතික ගැටලු කෙරෙහි යොමුවන මහජන අවධානය ගිලිහී යා හැකි බවට අනතුරු අඟවන පොහොට්ටු පක්ෂයේ ලේකම්වරයා, කිසිදු ප්‍රමාදයකින් තොරව මෙම පාර්ලිමේන්තු විවාද දෙක ලබාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් දැඩිව ඉල්ලා සිටියි.

ඔබේ අදහස