විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සම්බන්ධ සංශෝධනය ගැන මහානායක හිමිවරුන්ට රජයෙන් කරුණු පැහැදිලි කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇති බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් රජය ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් දැනුවත් කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ තමන් සහ අධිකරණ අමාත්‍යවරයා අස්ගිරි, මල්වතු සහ රාමඤ්ඤ නිකායන්හි මහානායක හිමිවරුන් සමඟ එක්ව සාකච්ඡා කළ බවයි.

ඉන් අනතුරුව අමරපුර නිකායේ මහානායක හිමිවරයා සමඟද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ඔහු පැවසීය.

මෙම සාකච්ඡාවලදී විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට පමණක් සීමා නොවී, රජය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන පුළුල් අධිකරණ ප්‍රතිසංස්කරණ වැඩසටහන පිළිබඳවද මහානායක හිමිවරුන් දැනුවත් කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

නඩු ගොඩගැසීම අවම කිරීම, අධිකරණ ක්‍රියාවලීන් කාර්යක්ෂම කිරීම සහ නඩු කටයුතු කඩිනම් කිරීම මෙම ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණු බවද ඔහු පැවසීය.

ඒ යටතේ අධිකරණ පද්ධතිය, නීතිපති දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ අධිකරණ සේවා කොමිෂන් සභාව ශක්තිමත් කිරීම, පුරප්පාඩු කඩිනමින් පිරවීම සහ බඳවා ගැනීම් වේගවත් කිරීම ඇතුළු පියවර ගෙන ඇති බව සඳහන් කෙරිණි.

මීට අමතරව මහේස්ත්‍රාත් අධිකරණවල නඩු විභාග වැඩි කිරීම, නව අභියාචනා අධිකරණ පිහිටුවීම, අදාළ ආයතන ඩිජිටල්කරණය කිරීම සහ නඩු කටයුතු ප්‍රමාද වීමට හේතු වන නීති සංශෝධනය කිරීමද ප්‍රතිසංස්කරණ වැඩසටහනට ඇතුළත් බව අමාත්‍යවරයා පැවසීය.

විනිසුරුවරුන් සඳහා දීමනා සහ පහසුකම් වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන්ද රජය අවධානය යොමු කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව කිසිදු එක් පුද්ගලයෙකු ඉලක්ක කරගත් පියවරක් නොවන බව අවධාරණය කළ ජයතිස්ස මහතා, එය මහේස්ත්‍රාත්වරුන්ගේ සිට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දක්වා සමස්ත අධිකරණ පද්ධතියටම අදාළ වන බව පැවසීය.

ඒ අනුව විනිසුරුවරුන් 400කට පමණ වසර දෙකකින් විශ්‍රාම වයස දීර්ඝ වනු ඇති බවද ඔහු සඳහන් කළේය.

මහානායක හිමිවරුන් රජය ඉදිරිපත් කළ කරුණු සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන පිළිබඳ පැහැදිලි කිරීම්වලට සවන් දුන් බවත්, නඩු ප්‍රමාදය අවම කර ජනතාවට ප්‍රතිලාභ සැලසෙන්නේ නම් එම ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් එකඟතාව පළ කළ බවත් කැබිනට් ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *