අමෙරිකානු කොංග්‍රස් මන්ත්‍රී ක්‍රිස්සි හූලහාන්ගේ නායකත්වයෙන් නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට

අමෙරිකානු කොංග්‍රස් මන්ත්‍රී ක්‍රිස්සි හූලහාන් මහත්මියගේ නායකත්වයෙන් යුත් කොංග්‍රස් නියෝජිත පිරිසක් (CODEL) ජූලි 27 සිට 30 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ ඉන්දු-පැසිෆික් කලාපයේ පොදු ප්‍රමුඛතා ඉදිරියට ගෙන යාම පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිතය.

කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ, හූලහාන් මහත්මිය සහ නියෝජිත පිරිස රජයේ, ආරක්ෂක සහ දේශපාලන නායකයන් සමඟ ඉහළ පෙළේ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි.

මෙම සාකච්ඡාවලදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, නියෝජ්‍ය කථානායක ආචාර්ය රිස්වි සාලිහ් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් හමුවීමට නියමිතය.

ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් වන සාකච්ඡාවලදී අන්තර්ජාතික අපරාධ මැඩපැවැත්වීම, වෙළෙඳ හා ආර්ථික සබඳතා පුළුල් කිරීම, කලාපීය ස්ථාවරත්වය සහ ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කිරීම ඇතුළු කරුණු පිළිබඳ අවධානය යොමු කිරීමට අපේක්ෂා කෙරේ.

ගුවන් හමුදා සේවයේ අත්දැකීම් ඇති ක්‍රිස්සි හූලහාන් මහත්මිය අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සන්නද්ධ සේවා කමිටුවේ සාමාජිකාවක් වන අතර, එහි හමුදා නිලධාරීන් පිළිබඳ උප කමිටුවේ ප්‍රධාන සාමාජිකාව ලෙසද කටයුතු කරයි. ඇය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බුද්ධි කටයුතු පිළිබඳ ස්ථිර තේරීම් කමිටුවේද සාමාජිකාවකි.

මෙම සංචාරය ශ්‍රී ලංකාව සමඟ ඇති හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට සහ නිදහස්, විවෘත හා සමෘද්ධිමත් ඉන්දු-පැසිෆික් කලාපයක් ප්‍රවර්ධනය කිරීමට වොෂින්ටනයේ කැපවීම තවදුරටත් අවධාරණය කරන බව අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *