31 හැවිරිදි විත්තිකරුට මෙම දඬුවම නියම කර ඇත්තේ ඉකුත් සිකුරාදා (ඔක්තෝබර් 9) හෝමාගම මහාධිකරණ විනිසුරුවරයා විසිනි. 2025 මැයි මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ආරම්භ කළ විමර්ශනයකින් අනතුරුව මෙම නඩුව විභාගයට ගෙන තිබේ.
විත්තිකරුට එරෙහිව චෝදනා තුනක් ඉදිරිපත් කර තිබූ අතර, ඉන් ප්‍රධාන චෝදනාවක් වූයේ බැංකුවේ ප්‍රධාන මුදල් අයකැමි ලෙස සේවය කරමින් සිටියදී එම බැංකුවෙන් රුපියල් මිලියන 130කට අධික මුදලක් වෙනත් ගිණුමකට මාරු කිරීමයි. එසේම, එම බැංකුවේ දෙහිවල ශාඛාවේ පවත්වාගෙන ගිය ඔහුගේ පෞද්ගලික ගිණුමට රුපියල් මිලියන 110කට අධික මුදලක් බැර කිරීම ද ඔහුට එරෙහි චෝදනාවලට ඇතුළත් විය.
පරිගණක මෘදුකාංග භාවිත කරමින් බැංකු ගිණුම්වල දත්ත වෙනස් කර ව්‍යාජ ගනුදෙනු සිදු කිරීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වී තිබිණි. විත්තිකරු එම චෝදනා තුනටම වරද පිළිගෙන ඇත.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා සඳහන් කළේ, නියමිත සීමාව ඉක්මවන ගනුදෙනු සිදු කිරීමේදී ප්‍රධාන මුදල් අයකැමියන් දෙවැනි මට්ටමේ නිලධාරියකුගේ අනුමැතිය ලබාගත යුතු බවයි.
එහෙත් විත්තිකරු තම තනතුරෙන් ලැබුණු බලතල අයුතු ලෙස භාවිත කරමින්, ඔහු වෙත තබා තිබූ විශ්වාසය කඩ කර මෙම වංචනික ගනුදෙනු සිදු කර ඇති බව අධිකරණයට දැනුම් දී තිබේ.
අදාළ අක්‍රමිකතා අනාවරණය වී ඇත්තේ එදින සවස් කාලයේදී බැංකු කළමනාකරු ගිණුම් පරීක්ෂා කිරීමේදීය. එහිදී රුපියල් මිලියන 130කට අධික මුදලක් පෞද්ගලික ගිණුමකට මාරු කර ඇති බව හෙළි වී තිබේ.
මේ අතර, විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු දඬුවම ලිහිල් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියහ. වරද සිදු කිරීමට ටික කලකට පෙර තම සේවාදායකයා අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වූ ආයෝජන වංචාවකට හසුවූ බව ඔවුහු කරුණු දක්වමින් පැවසූහ.
විත්තිකරුට සමාජ මාධ්‍ය ඔස්සේ ලැබුණු සබැඳියක් මඟින් ඉහළ ප්රතිලාභ ලබාදෙන බවට පොරොන්දු වූ අන්තර්ජාල ආයෝජන ක්‍රමයකට සම්බන්ධ වන ලෙස ආරාධනා කර තිබූ බව විත්තියේ නීතිඥවරු සඳහන් කළහ.
ඒ අනුව ඔහු මුලදී සුළු මුදල් ප්‍රමාණ ආයෝජනය කර තිබූ අතර, ඒ සඳහා ප්රතිලාභ ද ලැබී තිබේ. එහෙත් පසුව ආයෝජනය කළ මුදල් ආපසු ලබාගැනීමට ඔහුට නොහැකි වී ඇත.
තම මුදල් ආපසු ඉල්ලා සිටි අවස්ථාවේදී එම ආයෝජන ක්‍රමය මෙහෙයවූ පුද්ගලයන් තවත් විශාල මුදලක් ගෙවන ලෙස ඉල්ලා සිටි බව ද විත්තිය අධිකරණයට දන්වා තිබේ.
ආයෝජනය කළ මුදල් ආපසු ලබාගැනීමේ උත්සාහයක් ලෙස විත්තිකරු බැංකුවේ මුදල් වංචා කිරීමට පෙළඹී ඇති බව පෙන්වා දුන් නීතිඥවරු, දඬුවම නියම කිරීමේදී එම තත්ත්වයන් සැලකිල්ලට ගන්නා ලෙස ඉල්ලා සිටියහ.
දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, පළමු සහ දෙවැනි චෝදනාවලට වසර 15 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් ද, තෙවැනි චෝදනාවට වසර පහක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක් ද මහාධිකරණය විසින් නියම කරන ලදී.
එම සිරදඬුවම් එකවර ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමට අධිකරණය නියෝග කිරීම හේතුවෙන් විත්තිකරුට ගත කිරීමට සිදුවන සමස්ත සිරදඬුවම් කාලය වසර 15කි. මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටි කාලය එම දඬුවම් කාලයෙන් අඩු කිරීමට ද නියෝග කර තිබේ.
වංචා කරන ලද රුපියල් මිලියන 130කට අධික මුදල බැංකුවට වන්දි වශයෙන් ආපසු ගෙවන ලෙස ද විත්තිකරුට නියෝග කළ අධිකරණය, එම මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් තවත් වසර හතරක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක් නියම කරන බව ද සඳහන් කළේය.


