ශ්රී ලංකාවේ පළමු මගී ප්රවාහන ඩ්රෝනය දිවයිනට පැමිණ ඇති අතර, එහි මංගල ගුවන් ගමන ඔක්තෝබර් මාසය අවසන් වීමට පෙර කොළඹ වරාය නගරයේදී සිදු කිරීමට නියමිත බව ශ්රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කරයි.
මෙම ඩ්රෝනයට මගීන් දෙදෙනකු රැගෙන යා හැකි අතර, එක් ගමනකදී ආසන්න වශයෙන් මිනිත්තු 30ක් පියාසර කිරීමේ හැකියාව පවතී.
ජාත්යන්තර වෙළෙඳපොළ තුළ නියමුවකු රහිත, විදුලි බලයෙන් ක්රියාත්මක වන සිරස් ගුවන්ගතවීමේ සහ ගොඩබෑමේ ගුවන් යානා (eVTOL) හඳුන්වාදීම කඩිනම් කිරීම සඳහා චීන තාක්ෂණික සමාගමක් වන EHang ආරම්භ කළ ගෝලීය කඩිනම් වැඩසටහන (Global Fast Track Programme) ක්රියාත්මක කිරීමට ඉදිරිපත් වූ පළමු රට බවට ශ්රී ලංකාව පත්ව තිබේ.
මෙම ව්යාපෘතියේ ආරම්භක මෙහෙයුම් කලාපය ලෙස කොළඹ වරාය නගරය නම් කර ඇත. අවශ්ය නියාමන සහ ආරක්ෂක අනුමැතීන් ලබාගැනීමෙන් අනතුරුව මෙම ගුවන් යානා භාවිතයෙන් මගී ප්රවාහන සේවා ආරම්භ කිරීම ව්යාපෘතියේ අරමුණයි.
සලකා බලමින් පවතින ගුවන් ගමන් මාර්ග අතරට සීගිරිය සහ පිදුරංගල ආශ්රිත දර්ශනීය ගුවන් සංචාර මෙන්ම කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොළ සහ කොළඹ හෝටල් අතර මගී ප්රවාහන සේවාද ඇතුළත් වේ.
සංචාරක කර්මාන්තයට අදාළ සේවා සහ සමුද්රීය සැපයුම් ප්රවාහනය ඇතුළු වෙනත් කාර්යයන් සඳහාද මෙම තාක්ෂණය යොදාගැනීමේ හැකියාව ව්යාපෘතිය යටතේ සොයා බැලීමට නියමිතය.


