අටපිරිකර සහ පිරිකර භාණ්ඩ අලෙවියේ සිදුවන අක්‍රමිකතා සම්බන්ධයෙන් පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය දිවයින පුරා විශේෂ වැටලීම් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
ඒ අනුව 2026 වසරේ මේ දක්වා වැටලීම් 127ක් සිදුකර ඇති අතර, අගෝස්තු 10 වැනිදා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී පමණක් සාර්ථක වැටලීම් 92ක් සිදුකර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේය.
අටපිරිකර සහ ඊට අදාළ පිරිකර භාණ්ඩ අලෙවි කරන වෙළෙඳසැල් ඉලක්ක කර මෙම වැටලීම් සිදුකර ඇති අතර, පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ නීතිමය අවශ්‍යතා අනුගමනය කිරීම තහවුරු කිරීම එහි අරමුණ වී තිබේ.
2026 ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ වැටලීම් 35ක් සිදුකර තිබූ අතර, අගෝස්තු 10 වැනිදා සිදුකළ මෙහෙයුමත් සමඟ එම සංඛ්‍යාව 127 දක්වා ඉහළ ගොස් තිබේ.
අගෝස්තු 10 වැනිදා සිදුකළ වැටලීම්වලදී 2015 ජුනි 11 වැනිදා නිකුත් කළ අංක 1918/20 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ 55 වැනි නියෝගයට අනුකූලව පරීක්ෂණ සිදුකර ඇත.
භාණ්ඩ සහ ඒවායේ ඇසුරුම්වල අනිවාර්යයෙන් සඳහන් කළ යුතු තොරතුරු නිසි ලෙස දක්වා තිබේද, බිල්පත්, ඉන්වොයිසි සහ අනෙකුත් ලේඛන නිසි ලෙස පවත්වාගෙන යන්නේද යන්න මෙහිදී පරීක්ෂා කර තිබේ.
හඳුනාගත් බොහෝ අක්‍රමිකතා මෙම නියෝගයට අදාළව සිදුව ඇති අතර, අටපිරිකර, තනි ස්ථර සිවුරු, අඳනකඩ, පටි, පාත්‍ර සහ අනෙකුත් පිරිකර භාණ්ඩ සම්බන්ධයෙන් අනිවාර්ය තොරතුරු ලබාදීමට වෙළෙඳුන් අපොහොසත් වී ඇති බව අනාවරණය වී තිබේ.
නීති උල්ලංඝනයන්ට අදාළ අටපිරිකර සහ පිරිකර භාණ්ඩ ඒකක 436ක් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂත්වය වන්නේ පරීක්ෂණ ඇසුරුම්වල බාහිර තොරතුරුවලට පමණක් සීමා නොවීමයි. අහඹු ලෙස තෝරාගත් අටපිරිකර ඇසුරුම් විවෘත කර ඒවායේ අඩංගු භාණ්ඩද භෞතිකව පරීක්ෂා කර තිබේ.
එහිදී ද්විත්ව ස්ථර සිවුරු වෙනුවට තනි ස්ථර සිවුරු ඇතුළත් කිරීම, අවශ්‍ය භාණ්ඩ අඩංගු නොවන අසම්පූර්ණ කට්ටල, මිල අනුව කට්ටලවල අන්තර්ගතය වෙනස් කිරීම, ඇලුමිනියම් පාත්‍ර, දත් වැටුණු පාත්‍ර සහ මල බැඳුණු දැලිපිහි වැනි බරපතළ අක්‍රමිකතා අනාවරණය වී තිබේ.
ඇසුරුම් පරීක්ෂා කිරීමෙන් පමණක් ඇතැම් අක්‍රමිකතා පාරිභෝගිකයන්ට පහසුවෙන් හඳුනාගත නොහැකි බව පාරිභෝගික කටයුතු අධිකාරිය පෙන්වා දෙයි.
විශේෂයෙන් ආගමික කටයුතු සඳහා සම්පූර්ණ අටපිරිකර කට්ටල මිලදී ගන්නා පාරිභෝගිකයන්, ඇසුරුම තුළ ඇති සියලුම භාණ්ඩ පරීක්ෂා කර මිලදී ගන්නා ලෙසද අධිකාරිය උපදෙස් ලබාදී තිබේ.
නීති උල්ලංඝනය කළ බවට හඳුනාගත් වෙළෙඳසැල්වලට එරෙහිව අදාළ මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමටද පියවර ගෙන ඇත.
භාණ්ඩ නිසි ලෙස ලේබල් කිරීම, ඒවායේ තත්ත්වය පවත්වාගෙන යාම සහ අදාළ සියලු නීතිමය අවශ්‍යතා පිළිපැදීම වෙළෙඳුන්ගේ වගකීමක් බව පාරිභෝගික කටයුතු අධිකාරිය අවධාරණය කළේය.
දිවයින පුරා අහඹු පරීක්ෂණ සහ විශේෂ වැටලීම් ඉදිරියටත් අඛණ්ඩව සිදුකරන බවද එම අධිකාරිය සඳහන් කළේය.
අක්‍රමිකතා සම්බන්ධයෙන් තොරතුරු ඇති පාරිභෝගිකයන්ට කාර්යාල වේලාවන් තුළ පාරිභෝගික කටයුතු අධිකාරියේ පාරිභෝගික දුරකථන අංක 1977 අමතා ඒ පිළිබඳව දැනුම් දෙන ලෙසද ඉල්ලා සිටී.


