ජල සැපයුම් හා සනීපාරක්ෂක ප්‍රතිසංස්කරණ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ ජල සැපයුම් හා සනීපාරක්ෂක ප්‍රතිසංස්කරණ වැඩසටහනේ දෙවැනි අදියර ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ණයක් ලබා ගැනීමට රජය අනුමැතිය ලබා දී තිබේ.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ, ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුව සමඟ ගිවිසුමකට එළඹීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව, මෙම ඩොලර් මිලියන 100ක මූල්‍ය පහසුකමෙන් ඩොලර් මිලියන 50ක් ආසියානු සංවර්ධන බැංකුවේ සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් (Ordinary Capital Resources) යටතේ ද, ඉතිරි ඩොලර් මිලියන 50ක මුදල සහනදායී සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් (Concessional Ordinary Capital Resources) යටතේ ද ලබා ගැනීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ජල සැපයුම් හා සනීපාරක්ෂක ක්ෂේත්‍රයේ පවතින ප්‍රධාන ගැටලු විසඳීම අරමුණු කරගත් එම වැඩසටහනේ දෙවැනි උප වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මෙම මුදල් යොදා ගැනේ.

ජල සම්පත් කළමනාකරණයේ දුර්වලතා, මෙහෙයුම් හා මූල්‍ය කාර්යක්ෂමතාව සම්බන්ධ ගැටලු, දේශගුණික විපර්යාස ආශ්‍රිත අවදානම්වලට නිරාවරණය වීම, සමාජීය වශයෙන් සියලු පාර්ශ්ව ඇතුළත් කර ගැනීමේ අඩුපාඩු සහ අදාළ පාර්ශ්ව අතර ප්‍රමාණවත් සම්බන්ධීකරණයක් නොමැති වීම වැනි ගැටලු සඳහා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට මෙම වැඩසටහනෙන් සහාය ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම මූල්‍ය පහසුකම, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට සහාය වීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා ගැනීමට නියමිත ඇමෙරිකානු ඩොලර් මිලියන 620ක ප්‍රතිපත්තිමය ණය වැඩසටහනේ කොටසකි. එම සමස්ත වැඩසටහන උප වැඩසටහන් පහකින් සමන්විත වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට (EFF) සමගාමීව, මෙම ඩොලර් මිලියන 620ක මූල්‍ය පැකේජය ලබා ගැනීම සඳහා 2026 මාර්තු 16 වැනිදා අමාත්‍ය මණ්ඩලය මීට පෙර අනුමැතිය ලබා දී තිබිණි.

නවතම අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් ජල සැපයුම් හා සනීපාරක්ෂක ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සඳහා අදාළ මූල්‍ය ගිවිසුමට එළඹීමේ ඉදිරි කටයුතු සිදු කිරීමට රජයට අවස්ථාව සැලසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *