අග්‍රාමාත්‍යවරිය කොළඹ 152 වැනි ආදී වේල් පෙරහැරට එක්වෙයි

කොළඹ නව කතරගම කෝවිලේ වාර්ෂික ආදී වේල් උත්සවය ජූලි 28 වැනිදා පස්වරුවේ අරලියගහ මන්දිරය ඉදිරිපිටින් ගමන් කළ අතර, අග්‍රාමාත්‍ය කාර්යාලය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරිය එම ආගමික උත්සවයට සහභාගී වී පූජා තැටියක් පූජා කළාය.

සාම්ප්‍රදායික බෙර වාදන පෙරහැරක් සමඟ අරලියගහ මන්දිරයේ සිට වේල් රථය වෙත ගිය අග්‍රාමාත්‍යවරිය, භාග්‍යවත් ස්වාමි මුරුගන් වහන්සේ වැඩම කරවන රිදී රථයට (තේර්) පූජා තැටියක් පූජා කර ආශිර්වාද ලබා ගත්තාය.

අනතුරුව වේල් පෙරහැර සංවිධායක කමිටුව විසින් අග්‍රාමාත්‍යවරිය වෙත සිය කෘතඥතාව පළ කරමින් මල් මාලාවක් සහ සාම්ප්‍රදායික සළුවක් පිරිනමන ලදී.

කොළඹ චෙට්ටි වීදියේ නව කතරගම කෝවිල සහ බම්බලපිටිය නට්ටුකොට්ටයි නගරත්තාර් නව කතරගම කෝවිල එක්ව සංවිධානය කරන මෙම වාර්ෂික ආදී වේල් උත්සවය සහ රථ පෙරහැර 1874 වසරේ සිට අඛණ්ඩව පැවැත්වෙමින් පවතී.

මෙවර පැවැත්වූයේ එහි 152 වැනි වේල් පෙරහැර ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *