ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවට ලබාදී ඇති දීර්ඝ කාලීන අරමුදල් පහසුකම යටතේ ණය මුදලේ දෙවන වාරිකය දෙසැම්බර් මාසයේදී ලබාදීමට අපේක්ෂා කරන බව වරාය, නාවික හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
තවද, 2024 වසර සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය ජාතික ආර්ථිකය ප්‍රතිනිර්මාණය කිරීම අරමුණු කරගත් පුළුල්, දිගුකාලීන වැඩපිළිවෙළක ආරම්භය සනිටුහන් කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම ඉදිරි දැක්ම ප්‍රකාශ කළේ ඊයේ (17) ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ (PMC) පැවති ‘ස්ථාවර දේශයකට එක මාවතක්’ යන තේමාව යටතේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා සිය දීර්ඝ අදහස් දැක්වීමේදී වත්මන් අයවැයේ වැදගත්කම අවධාරනය කරමින්, එය ක්ෂණික ලාභ ගැන සලකා බැලීමෙන් තොරව ජාතික ආර්ථිකය පුනර්ජීවනය කිරීම ඉලක්ක කරගත් දිග්ගැස්සුනු මුලපිරීමක ආරම්භය ලෙස හුවා දක්වන ලදී. ඒ සඳහා අත්‍යවශ්‍ය වැඩසටහන් සහ ප්‍රතිපත්ති ඉතා සංකීර්ණ ලෙස අයවැය ලේඛනයේ දක්වා ඇති බව ඔහු අවධාරණය කළේය. ඇතැමුන් එය මැතිවරණ ඉලක්ක කරගත් අයවැයක් ලෙස ලේබල් කළ හැකි නමුත් එය ඉදිරි මැතිවරණ අපේක්ෂාවෙන් සකස් කරන ලද්දක් නොව උපායමාර්ගික ආර්ථික රාමුවක් ලෙස සකස් කරන ලද්දක් බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.