ICE සැකකරු මුදා ගැනීමට පොලිසියට ලක්ෂ 5ක අල්ලසක් දීමට ගිය අයෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම් සැකකරුවකු නීති විරෝධී ලෙස මුදා ගැනීම සඳහා තෙල්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ලබාදීමට උත්සාහ කළ මහනුවර, තැන්නේකුඹුර ප්‍රදේශයේ 29 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ, ජූලි 31 වැනිදා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2.385ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙම සිද්ධිය සිදුව ඇති බවයි. එම සැකකරු සම්බන්ධයෙන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් රැඳවුම් නියෝගයක්ද ලබාගෙන තිබිණි.

එම සැකකරුගෙන් ලද තොරතුරු මත පසුව තැන්නේකුඹුර ප්‍රදේශයේදී තවත් පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10.795ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

දෙවැනි සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම වැළැක්වීම සඳහා ගත් උත්සාහයක් අතරතුර, පුද්ගලයකු රුපියල් 5,000 බැගින් වූ මුදල් නෝට්ටු 100ක්, එනම් රුපියල් ලක්ෂ 5ක මුදලක් තෙල්දෙණිය පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ලබාදීමට උත්සාහ කර ඇති බව පොලිස් නිලධාරීහු සඳහන් කළහ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානාධිපතිවරයා නිලධාරීන් කණ්ඩායමක් සමඟ අල්ලස ලබාදීමට උත්සාහ කළ පුද්ගලයා පොලිස් ස්ථානය තුළදීම අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මුදල් පොලිස් භාරයට ගෙන ඇති අතර, අල්ලස් පනත යටතේ විමර්ශන සිදුකෙරේ.

වැඩිදුර නීතිමය ක්‍රියාමාර්ග සඳහා සිද්ධිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමුකර ඇති බව පොලිසිය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *