Friday, 13 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අයවැයට විරෝධය පා රාජ්‍ය සේවා ඉංජිනේරුවරු අද වර්ජනයක

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

2027 අයවැය මඟින් සිය ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට අපොහොසත් වීමට විරෝධය පළ කරමින්, දිවයින පුරා සේවයේ නියුතු රාජ්‍ය සේවා ඉංජිනේරුවරුන් අද (නොවැම්බර් 13) එක්දින සංකේත වැඩවර්ජනයක නිරත වන බව රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය නිවේදනය කරයි.

2012 වසරේ සිට ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ නිලධාරීන් වෙත ලබාදුන් නමුත් 2024 වසරේදී කප්පාදු කරන ලද ‘ක්ෂේත්‍ර පැමිණීමේ සහ ප්‍රවාහන දීමනාව’ (Field Attendance and Transport Allowance – FAT) යළි ස්ථාපිත කිරීමට රජය අපොහොසත් වීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බව එම සංගමය පවසයි.

2027 අයවැය යෝජනා හරහා එම දීමනාව යළි ලබාදෙන බවට රජය මීට පෙර පොරොන්දු වී තිබූ බව සංගමය සඳහන් කරයි. එහෙත් ලබන වසරේදී ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබියදීත්, අයවැය මඟින් රාජ්‍ය සේවා ඉංජිනේරු නිලධාරීන් සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇති බවට එම සංගමය කනස්සල්ල පළ කර තිබේ.

අසනීප නිවාඩු වාර්තා කරමින් විරෝධතාව

පසුගිය නොවැම්බර් 12 වැනිදා පැවති සිය විධායක කමිටු රැස්වීමේදී ගත් තීරණයකට අනුව, අද දිනයේ අසනීප නිවාඩු වාර්තා කරමින් දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව සංගමය ප්‍රකාශ කළේය.

මෙම සංකේත වැඩවර්ජනය මූලික පියවරක් පමණක් බවත්, සිය ඉල්ලීමට කඩිනම් හා සතුටුදායක විසඳුමක් ලබාදීමට රජය අපොහොසත් වුවහොත් ඉදිරියේදී වඩාත් දැඩි හා අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙන බවටත් රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය අනතුරු අඟවා සිටියි.

ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් රටේ සංවර්ධන ව්‍යාපෘතිවලට සිදුවන ඕනෑම බාධාවක පූර්ණ වගකීම රජය විසින් භාරගත යුතු බවද එම සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

ඔබේ අදහස