විරෝධතා භූමියේ රැස්ව සිටි පිරිස අමතමින් කස්සප හිමියන් පැවසුවේ, මේ වන විට සිරදඬුවමක් විඳිමින් සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කොන්දේසි විරහිතව නිදහස් කර ගැනීම තමන්ගේ ප්රධාන අරමුණ බවයි.
භික්ෂූන් වහන්සේලා බලයෙන් පහ කිරීමේ උත්සාහයක නිරත වන බවට රජය වැරදි අවබෝධයක් ඇති කරගෙන සිටින බව ද උන්වහන්සේ චෝදනා කළහ.
“අපි ඇවිත් තියෙන්නේ ආණ්ඩුව පෙරළන්න කියලා ආණ්ඩුව හිතනවා. නමුත් ඥානසාර හිමියන් නිදහස් කිරීමේ වගකීම තියෙන්නේ ජනාධිපතිවරයාටයි,” යනුවෙන් උන්වහන්සේ පැවසූහ.
ජනාධිපතිවරයා සතු ආණ්ඩුක්රම ව්යවස්ථාමය බලතල පිළිබඳව ද සඳහන් කළ කස්සප හිමියෝ, තම ඉල්ලීම දිගින් දිගටම ප්රතික්ෂේප කරන්නේ නම් වෙනත් විකල්ප සලකා බැලීමට සිදුවනු ඇති බව කියා සිටියහ.
“ජනාධිපතිවරයා දිගින් දිගටම මුරණ්ඩු ලෙස කටයුතු කරනවා නම්, උන්වහන්සේ නිදහස් කර ගැනීමට වෙනත් නීත්යනුකූල ක්රමයක් නැත්නම් අපි මොනවා කරන්නද? අවශ්ය වුණොත් ඒ කාර්යය කරගැනීම සඳහා වෙනත් ජනාධිපතිවරයකු පත් කරගන්න අපට සිදුවේවි,” යනුවෙන් කස්සප හිමියෝ පැවසූහ.
පෙර දිනයේ රෝහල්ගතව සිටියද නැවත විරෝධතාවට එක්වීමට ගත් තීරණය පිළිබඳව ද උන්වහන්සේ පැහැදිලි කළහ.
සෙසු භික්ෂූන් වහන්සේලා තමන්ට ලබාදීමට ඉදිරිපත් වූ අමතර පහසුකම් ප්රතික්ෂේප කළ බව පැවසූ කස්සප හිමියෝ, ඥානසාර හිමියන් සිරගෙදර දුක් විඳිමින් සිටියදී තමන්ට එවැනි පහසුකම් භුක්ති විඳිය නොහැකි බව සඳහන් කළහ.
“අපි මෙතැනට ආවේ සැප පහසුකම් විඳින්න නෙවෙයි. ඥානසාර හිමියන් දුක් විඳිද්දී අපි කොහොමද සැප පහසුවෙන් ඉන්නේ?” යනුවෙන් උන්වහන්සේ ප්රශ්න කළහ.
වේදනාවෙන් පසුවුවද අඛණ්ඩව පැවැත්වෙන විරෝධතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් තමන් යළි එම ස්ථානයට පැමිණි බව ද කස්සප හිමියෝ පැවසූහ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා විරෝධතාවයේ නිරතව සිටිති. මීට පෙර ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයේ පැවැත්වූ විරෝධතාවලින් අනතුරුව මේ වන විට විහාරමහාදේවි උද්යානයේදී එම විරෝධතාව අඛණ්ඩව ක්රියාත්මක වේ.


