“GSP+ සහනය තහවුරු වූ දෙයක් ලෙස සලකන්න එපා” පාකිස්තානයට යුරෝපා සංගමයෙන් අනතුරු ඇඟවීමක්

වෙළෙඳ යෝජනා ක්‍රමයක් සහ එහි අනාගතය සම්බන්ධයෙන් පාකිස්තානය සහ යුරෝපා සංගමය අතර දැඩි සාකච්ඡා සිදුවෙමින් පවතින අතරතුර, GSP+ වෙළෙඳ සහන අඛණ්ඩව හිමිවන බවට පූර්ව නිගමනයකට නොඑළඹෙන ලෙස යුරෝපා සංගමයේ පාකිස්තාන තානාපතිවරයා අනතුරු අඟවා තිබේ.

වත්මන් යුරෝපා සංගමයේ Generalised Scheme of Preferences හෙවත් GSP+ රාමුව මෙම වසර අවසානයේදී කල් ඉකුත් වීමට නියමිත අතර, ඉන් අනතුරුව ක්‍රියාත්මක වන නව ක්‍රමවේදයට ඇතුළත් වීම සඳහා පාකිස්තානය යළි අයදුම් කළ යුතුය. නව ක්‍රමවේදය යටතේ වඩාත් දැඩි අවශ්‍යතා සපුරාලීමට ද සිදුවනු ඇත.

“තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා රජය පියවර ගත යුතුයි. එය නැවත අයදුම් කිරීමේ ක්‍රියාවලියේදීත් ඉතා වැදගත් වේ,” යනුවෙන් යුරෝපා සංගමයේ තානාපති Raimundas Karoblis මහතා Dawn පුවත්පතට පවසා තිබේ.

“තත්ත්වය නිශ්චිත නැහැ. ඇත්ත වශයෙන්ම GSP+ සහන තහවුරු වූ දෙයක් ලෙස සලකන්න බැහැ,” ඔහු සඳහන් කළේය.

නව වෙළෙඳ රාමුව වසර ආරම්භයේ සිට ක්‍රියාත්මක වුවද, පාකිස්තානය ඇතුළු දැනට සහන ලබන රටවලට වසර දෙකක සංක්‍රාන්ති කාලයක් තුළ එම සහන අඛණ්ඩව හිමිවනු ඇත. එම සංක්‍රාන්ති කාලය 2028 දෙසැම්බර් 31 වැනිදා අවසන් වීමට නියමිතය.

කෙසේ වෙතත්, එම සංක්‍රාන්ති කාලය හේතුවෙන් වසර දෙක පුරා ස්වයංක්‍රීයව GSP+ පහසුකම අඛණ්ඩව හිමිවන බවක් හෝ නව ක්‍රමවේදයට ස්වයංක්‍රීයව මාරුවන බවක් අදහස් නොවන බව වාර්තා වේ.

2023 සිට 2025 දක්වා කාලය ආවරණය කරමින් යුරෝපා කොමිසම විසින් මෙම වසරේ ජූලි මාසයේදී නිකුත් කළ ඇගයීම් වාර්තාවකින් සඳහන් කර තිබුණේ ජාත්‍යන්තර බැඳීම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පාකිස්තානයට ගැටලු මතුව ඇති බවත්, ක්ෂේත්‍ර කිහිපයක පසුබෑමක් සිදුව ඇති බවත්, ධනාත්මක වෙනස්කම් සිදුව ඇත්තේ සීමිත වශයෙන් බවත්ය.

නීතිමය සහ පරිපාලනමය පියවර ගෙන ඇති බව පිළිගන්නා අතරම, එම ප්‍රගතියෙන් සැලකිය යුතු කොටසක් තවමත් බිම් මට්ටමේ සැබෑ වැඩිදියුණුවක් බවට පත්වී නොමැති බව ද වාර්තාව පෙන්වා දී තිබේ.

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් සහ අධිකරණයෙන් තොර ඝාතන, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, මාධ්‍යවේදීන්ගේ සහ සුළුතර කණ්ඩායම්වල අයිතිවාසිකම්, අධිකරණ ස්වාධීනත්වය, යුක්තිය සඳහා ප්‍රවේශය සහ බලහත්කාරී ශ්‍රමය සම්බන්ධයෙන් සැලකිය යුතු ගැටලු ද එම වාර්තාව මගින් හඳුනාගෙන තිබේ.

“පසුබෑමක් පවතින ක්ෂේත්‍ර තිබෙනවා. එබැවින් රජය ඒවාට අවධානය යොමු කළ යුතුයි,” යනුවෙන් Karoblis මහතා පැවසීය. වත්මන් GSP+ සම්මුතීන් ක්‍රියාත්මක කිරීමේදී මෙන්ම නව ක්‍රමවේදය සඳහා නැවත අයදුම් කිරීමේදීත් මෙය අදාළ වන බව ඔහු සඳහන් කළේය.

පාකිස්තානය සහ යුරෝපා සංගමය අතර පැවැත්වෙන රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවලින් පෙනී යන්නේ ඉස්ලාමාබාද් පාර්ශ්වය තත්ත්වයේ බරපතළකම පිළිබඳව දැනුවත් බවයි. කෙසේ වෙතත්, බ්‍රසල්ස් විසින් නැවත නැවතත් මතුකර ඇති ගැටලු විසඳීමට පාකිස්තානය තීරණාත්මක පියවර ගෙන තිබේද යන්න පිළිබඳව තවමත් ප්‍රශ්න පවතී.

පසුගිය සතියේ පැවති මාධ්‍ය හමුවකදී Dawn පුවත්පත එවකට ධුරයෙන් ඉවත්වීමට නියමිතව සිටි විදේශ කාර්යාල ප්‍රකාශක Tahir Andrabi මහතාගෙන් එම සාකච්ඡා ඉදිරියට ගෙන යන ආකාරය සහ පාකිස්තානයේ GSP+ බැඳීම් පිළිබඳ යුරෝපා සංගමයේ ඇගයීම සම්බන්ධයෙන් ඔහුගේ අදහස විමසා තිබිණි.

ඊට පිළිතුරු දෙමින් ප්‍රකාශකවරයා සඳහන් කළේ, ජාත්‍යන්තර සම්මුතීන් 27ක් යටතේ පාකිස්තානය අඛණ්ඩව බැඳීම් ඉටු කිරීම පිළිබඳ යුරෝපා කොමිසමේ පිළිගැනීම පාකිස්තානය අගය කරන නමුත්, වාර්තාවේ සමස්ත විග්‍රහයෙන් “පාකිස්තානයේ කාර්යසාධනය පිළිබඳ ප්‍රමාණවත් තරම් සමබර චිත්‍රයක්” ඉදිරිපත් නොවන බවයි.

“GSP+ යනු පාකිස්තානයේ යුරෝපා සංගමය සමඟ පවතින ආර්ථික සම්බන්ධතාවයේ කේන්ද්‍රීය අංගයක්. GSP රාමුවට පදනම් වන ජාත්‍යන්තර සම්මුතීන් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට අපි කැපවී සිටින අතර, යුරෝපා සංගමය සමඟ සාධනීය ලෙස අඛණ්ඩව සම්බන්ධ වී කටයුතු කරනවා,” යනුවෙන් ඔහු පැවසීය.

GSP+ බැඳීම් පුළුල් ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කරන බැවින්, පාකිස්තානය යුරෝපා සංගමය සමඟ මෙම කරුණ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳ සමස්ත චිත්‍රයක් ලබා ගැනීම සඳහා Dawn පුවත්පත පසුගිය සතියේ පාකිස්තාන රජයේ තොරතුරු, නීතිය සහ වාණිජ කටයුතු භාර ෆෙඩරල් අමාත්‍යවරුන්ගෙන් ලිඛිතව විමසීම් කර තිබේ.

කෙසේ වෙතත්, එම විමසීම්වලට අමාත්‍යවරුන් හෝ ඔවුන්ගේ අමාත්‍යාංශ ප්‍රතිචාර දක්වා නොමැත.

පාකිස්තානය මුහුණ දෙන අභියෝගය දෙයාකාරය. නව වෙළෙඳ රාමුව යටතේ සුදුසුකම් සපුරාලන බව පෙන්වීමට සිදුවන අතරම, නවතම වාර්තාව මගින් හඳුනාගත් පසුබෑම් හේතුවෙන් සංක්‍රාන්ති කාලය තුළ දැනට පවතින GSP+ තත්ත්වයට බලපෑමක් නොවන බවට වගබලා ගැනීමට ද සිදුවනු ඇත.

Dawn පුවත්පත සමඟ අදහස් දක්වමින් යුරෝපා සංගමයේ තානාපතිවරයා කියා සිටියේ GSP+ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අනුකූලතාව නිරීක්ෂණය කිරීමේ සහ තීරණ ගැනීමේදී බලපෑම් සහගත කාර්යභාරයක් ඉටු කරන යුරෝපා කොමිසම තුළ බරපතළ කනස්සල්ලක් පවතින බවයි.

“වාර්තාව අධ්‍යයනය කිරීමෙන් මෙන්ම විශේෂඥයන් සමඟ පැවැත්වූ සාකච්ඡාවලින් ද පෙනී යන්නේ, මෙම සම්මුතීන් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යුරෝපා කොමිසම තුළ බරපතළ සැකයන් පවතින බවයි,” ඔහු පැවසීය.

යුරෝපා සංගමයේ GSP+ ක්‍රමවේදය මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පරිසර ආරක්ෂණය සහ යහපාලනය සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකූල වීම මත පදනම් වී තිබේ. පාකිස්තානය එම සම්මුතීන් සඳහා දැනටමත් එකඟ වී ඇති අතර, 2014 වසරේ සිට GSP+ සහන ලබන රටක් ලෙස කටයුතු කරයි. එම ක්‍රමවේදයේ විශාලතම ප්‍රතිලාභියා වන්නේ ද පාකිස්තානයයි.

එබැවින් මෙම සහනය පාකිස්තානයට අතිශය වැදගත් ආර්ථික ප්‍රතිලාභයක් බවට පත්ව තිබේ.

2024 වසරේදී GSP+ යටතේ තීරුබදු සහන වශයෙන් පාකිස්තානයට යුරෝ මිලියන 732කට ආසන්න ප්‍රතිලාභයක් හිමිව ඇති අතර, එම සහන සහිත වෙළෙඳ ප්‍රවේශය භාවිත කරමින් පාකිස්තානය යුරෝ බිලියන 7.115ක වටිනාකමකින් යුත් භාණ්ඩ අපනයනය කර තිබේ.

එම වසරේ යුරෝපා සංගමයට පාකිස්තානය කළ සමස්ත යුරෝ බිලියන 8.275ක අපනයනවලින් යුරෝ බිලියන 7.482ක වටිනාකමක් සහිත අපනයන GSP+ සහන සඳහා සුදුසුකම් ලබා තිබිණි.

පාකිස්තානයේ සමස්ත අපනයනවලින් සියයට 28කට පමණ යුරෝපා සංගමය හිමිකම් කියන අතර, එම කලාපයට පාකිස්තානයෙන් සිදුකරන අපනයනවලින් සියයට 90කට ආසන්න ප්‍රමාණයක් GSP+ සහන සඳහා සුදුසුකම් ලබයි.

විශේෂයෙන්ම රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්තය මෙම වෙළෙඳ ක්‍රමවේදය මත දැඩි ලෙස රඳා පවතී. පාකිස්තානය යුරෝපා වෙළෙඳපොළට සිදුකරන අපනයනවලින් සියයට 70ත් 76ත් අතර ප්‍රමාණයක් මෙම ක්ෂේත්‍රයට අයත් වේ. ඇඟලුම්, රෙදිපිළි, සම් නිෂ්පාදන, සැකසූ ආහාර සහ පාන වර්ග ප්‍රධාන ප්‍රතිලාභී නිෂ්පාදන අතර වේ.

එබැවින් GSP+ සහන යටතේ ලැබෙන වරණීය වෙළෙඳ ප්‍රවේශය අහිමි වුවහොත්, එහි බලපෑම තීරුබදු සහනවල ක්ෂණික වටිනාකමට පමණක් සීමා නොවනු ඇත. විශේෂයෙන් රෙදිපිළි සහ ඇඟලුම් වැනි නිෂ්පාදන පාකිස්තානයේ වැදගත්ම අපනයන වෙළෙඳපොළක් වන යුරෝපා සංගමය තුළ තරගකාරීත්වය අහිමි කරගැනීමේ අවදානමක් පවතී.

වරණීය වෙළෙඳ ප්‍රවේශය අහිමිවීමේ අවදානම සැබෑ එකක් වන අතර, GSP+ ක්‍රමවේදය යටතේ අදාළ ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකූල වීමට බරපතළ ලෙස අසමත් වුවහොත් සහන අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් තාවකාලිකව ඉවත් කිරීමට ප්‍රතිපාදන පවතී.

මේ සම්බන්ධයෙන් අන්ත දෙකේම පූර්වාදර්ශ පවතින අතර, බොලිවියාවට GSP+ සහන අර්ධ වශයෙන් ඉවත් කර ඇති අතර, ශ්‍රී ලංකාවට මීට පෙර එම සහන සම්පූර්ණයෙන්ම අහිමි වී තිබේ.

කෙසේ වෙතත්, පාකිස්තානය සම්බන්ධයෙන් මෙතෙක් එවැනි තීරණයක් ගෙන නොමැති බව Karoblis මහතා පැවසීය.

“මේ දක්වා මෙම නිශ්චිත ක්ෂේත්‍රවල පසුබෑම GSP+ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය සීමාවට පැමිණ තිබේද, අර්ධ හෝ සම්පූර්ණ තාවකාලික අත්හිටුවීමක් ආරම්භ කිරීමට තරම් මට්ටමකට එය ළඟා වී තිබේද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශනයක් අවශ්‍යයි,” ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, එවැනි තීරණයක් මෙතෙක් ගෙන නොතිබීම හේතුවෙන් පාකිස්තානයට කිසිදු කොන්දේසියකින් තොර නිදහසක් ලැබී ඇති බවක් අදහස් නොකරන බව තානාපතිවරයා පැහැදිලි කළේය.

“රජය සහයෝගයෙන් කටයුතු කිරීමට සහ ප්‍රගතියක් ඇති කිරීමට සූදානම් නම්, වර්තමාන තත්ත්වය සහ සොයාගැනීම් හේතුවෙන් මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක නොවනු ඇතැයි අපේක්ෂා කරමු,” යනුවෙන් ඔහු අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *