Friday, 13 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

2027 අයවැය ගමන් මගට ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රසාදය

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

2027 අයවැයේ පුළුල් දිශානතිය පිළිබඳව ප්‍රසාදය පළ කර ඇති ලංකා වාණිජ මණ්ඩලය (The Ceylon Chamber of Commerce), ප්‍රතිපත්තිමය පොරොන්දු ආයෝජන, අපනයන සහ තිරසාර ආර්ථික වර්ධනයක් බවට පරිවර්තනය කිරීම සඳහා යෝජිත ප්‍රතිසංස්කරණ නියමිත වේලාවට ක්‍රියාත්මක කිරීම අතිශයින් තීරණාත්මක බව ප්‍රකාශ කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් වාණිජ මණ්ඩලය පෙන්වා දී ඇත්තේ, ප්‍රතිපත්තිමය අඛණ්ඩතාව, සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ රාජ්‍ය මූල්‍ය විනය පවත්වා ගනිමින් ආර්ථික පරිවර්තනයක් සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම මෙම අයවැය මගින් තවදුරටත් තහවුරු කරන බවයි.

වාණිජ මණ්ඩලයේ යෝජනා 20 කට වැඩි ගණනක් අයවැයට

තමන් රජයට ඉදිරිපත් කළ යෝජනා 20 කට වැඩි සංඛ්‍යාවක් මෙවර අයවැයට ඇතුළත් කර තිබීම පිළිබඳව ද වාණිජ මණ්ඩලය සිය ප්‍රසාදය පළ කර ඇති අතර, එය රාජ්‍ය හා පෞද්ගලික අංශය අතර අඛණ්ඩව පැවති සංවාදයේ ධනාත්මක ප්‍රතිඵලයක් ලෙස හඳුන්වා දී තිබේ. ආයෝජන පහසුකම් ශක්තිමත් කිරීම, වෙළෙඳ හා අපනයන තරගකාරිත්වය ඉහළ නැංවීම, ඩිජිටල් රාජ්‍ය සේවා පුළුල් කිරීම, මුදල් රහිත ගෙවීම් (Cashless payments) ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රධාන නීතිමය ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීම යන යෝජනා ද ඒ අතර වේ.

බලශක්ති සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමට, අපනයනකරුවන්ට සහාය වීමට සහ ඩිජිටල් ආර්ථිකය පුළුල් කිරීමට ගෙන ඇති පියවරයන්ට සමගාමීව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඉදිරි අනුප්‍රාප්තික වැඩසටහනක් (Successor programme) පිළිබඳව රජය අවධානය යොමු කිරීම ද වාණිජ මණ්ඩලයේ පැසසුමට ලක්ව ඇත.

2026 සහ 2027 අයවැය අතර අඛණ්ඩතාව

2026 සහ 2027 අයවැය අතර පවතින ප්‍රතිපත්තිමය අඛණ්ඩතාව විශේෂයෙන් ඉස්මතු කර ඇති වාණිජ මණ්ඩලය, ප්‍රධාන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කිහිපයක්ම ඉදිරියට ගෙන ගොස් ඇති බව සඳහන් කරයි. ඒ අතර පහත ක්ෂේත්‍ර ප්‍රධාන වේ:

  • වෙළෙඳ ජාතික තනි කවුළුව (Trade National Single Window)

  • අතුරු බදු (Para-tariffs) අදියර වශයෙන් ඉවත් කිරීම

  • ඩිජිටල් හැඳුනුම්පත් රාමුව (Digital ID framework)

  • නව නිදහස් වෙළෙඳ ගිවිසුම්

  • රේගු ප්‍රතිසංස්කරණ

  • බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීම

  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs) සඳහා මූල්‍ය සහාය ඉහළ නැංවීම

වැඩි අවධානයක් යොමු විය යුතු ක්ෂේත්‍ර

කෙසේ වෙතත්, සෘජු විදේශ ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීම, ඉඩම් හා කම්කරු වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීම සහ රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලීන් වැඩිදියුණු කිරීම කෙරෙහි මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු බව ලංකා වාණිජ මණ්ඩලය අවධාරණය කර ඇත. සංචාරක, කෘෂිකර්ම, තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණ (IT/BPO) සහ සැපයුම් සේවා (Logistics) යන ක්ෂේත්‍රවල වර්ධන අවස්ථා උදාකර ගැනීම සඳහා වඩාත් ඉලක්කගත පියවර ගන්නා ලෙස ද එම මණ්ඩලය ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාව දැන් ආර්ථික ස්ථාවරත්වයෙන් ඔබ්බට ගොස් ආයෝජන මූලික කරගත් තිරසාර වර්ධනයක් කරා ගමන් කිරීමට අවධානය යොමු කළ යුතු බව පවසන වාණිජ මණ්ඩලය, යෝජිත වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සහාය වීම සඳහා රජය සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බව ද වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඔබේ අදහස