ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) 114 වැනි වාර්ෂික සමුළුවට සහභාගි වීම සඳහා කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ජුනි 7 වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිතය.
“සමාජ සාධාරණත්වය ඉදිරියට ගෙනයාම සහ විනීත වැඩකටයුතු ප්‍රවර්ධනය කිරීම” යන තේමාව යටතේ ජුනි 01 වැනිදා ආරම්භ වූ මෙම සමුළුව ජුනි 12 වැනිදා දක්වා පැවැත්වේ.
ගෝලීය කම්කරු ගැටළු සාකච්ඡා කිරීම සහ ජාත්‍යන්තර කම්කරු ප්රමිතීන් සකස් කිරීම සඳහා ප්‍රධාන වේදිකාවක් ලෙස ක්‍රියා කරන වාර්ෂික රැස්වීමට ILO සාමාජික රටවල් 187 ක රජයන්, සේවා යෝජකයින් සහ සේවකයින්ගේ නියෝජිතයින් සහභාගී වේ.
න්‍යාය පත්‍රයේ ඇති ප්‍රධාන මාතෘකා අතර ඩිජිටල් ආර්ථිකය තුළ කම්කරුවන් මුහුණ දෙන අභියෝග, රජයන්, සේවා යෝජකයන් සහ වෘත්තීය සමිති අතර ත්‍රෛපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම, සේවා ස්ථානයේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම, සමාජ සංවාදය වැඩි දියුණු කිරීම සහ සාධාරණ සේවා කොන්දේසි සහතික කිරීම ඇතුළත් වේ. මෙම සමුළුවේදී ගෝලීය කම්කරු ක්ෂේත්රයට බලපාන ප්‍රතිපත්තිමය කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමටත්, ඒ සම්බන්ධයෙන් වැදගත් තීරණ ගැනීමටත් අපේක්ෂා කෙරේ.
සමුළුවේ සමාරම්භක සැසියට කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස, කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියැද්ද, කම්කරු නිලධාරීන්, වෘත්තීය සමිති නියෝජිතයන් සහ හාම්පුතුන්ගේ සම්මේලනයේ සාමාජිකයින්ගෙන් සමන්විත දූත පිරිසක් ද එක්ව සිටියහ.


