රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව නවීකරණයට රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව වැඩසටහනක්

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව නවීන තාක්ෂණයෙන් සමන්විත, ඉහළ ආරක්ෂාවක් සහිත මුද්‍රණ මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීමේ අරමුණින් එය රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයක් (PPP) යටතේ නවීකරණය කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා වන “ස්මාර්ට් ප්‍රින්ට් ඉනිෂියේටිව්” (Smart Print Initiative) නමැති වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

1968 වසරේදී ස්ථාපිත කරන ලද රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව, පාසල් පෙළපොත්, රජයේ නිල ප්‍රකාශන සහ රාජ්‍ය ආයතනවලට අවශ්‍ය ලේඛන මුද්‍රණය කිරීමේ ප්‍රධාන වගකීම දරන රාජ්‍ය ආයතනය බව අමාත්‍ය මණ්ඩල තීරණයේ සඳහන් වේ.

මෑත වසරවලදී සංස්ථාව අඛණ්ඩව මූල්‍ය ලාභ වාර්තා කර තිබුණද, පැරණි යන්ත්‍රෝපකරණ සහ යල් පැන ගිය මුද්‍රණ තාක්ෂණය හේතුවෙන් එය තවදුරටත් අභියෝගවලට මුහුණ දෙමින් සිටී.

මෙම සීමාවන් නිසා නිෂ්පාදන කාර්යක්ෂමතාවට සහ පිරිවැය තරගකාරීත්වයට බලපෑම් එල්ල වී ඇති බැවින්, සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමේ සහ තාක්ෂණික වශයෙන් නවීකරණය කිරීමේ අවශ්‍යතාව මතු වී තිබේ.

යෝජිත ස්මාර්ට් ප්‍රින්ට් ඉනිෂියේටිව් වැඩසටහන මඟින් නවීන මුද්‍රණ තාක්ෂණයන් හඳුන්වා දීම සහ සංස්ථාවේ මෙහෙයුම් විවිධාංගීකරණය කිරීම තුළින් මෙම ගැටලු විසඳීමට අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම ඉහළ ආරක්ෂාවක් සහිත මුද්‍රණ කටයුතු සිදු කිරීමේ හැකියාව වර්ධනය කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරේ.

ඒ අනුව, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව රාමුවක් යටතේ මෙම නවීකරණ හා විවිධාංගීකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *