CIDය සමන්ගේ කාර්යාලය පරීක්ෂා කරයි

අධිකරණයෙන් ලබාගත් නියෝග ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතාගේ කාර්යාලය පරීක්ෂාවට ලක්කර තිබේ.

අද පෙරවරු 10 සිට පැය පහක පමණ කාලයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයාගේ කාර්යාලය සෝදිසි කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අතිරේක ලේකම් සමන් රත්නායක මහතාගෙන් ප්‍රකාශයක්ද සටහන් කරගෙන තිබේ.

මේ අතර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සැපයීෙම් සිද්ධිය සම්බන්ධෙයන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රි චන්ද්‍රගුප්ත මහතා ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ඊයේ පස්වරු 6ට පමණ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය හමුවට ඉදිරිපත් කළේය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නම් මිලදීගැනීමේ නඩුවේ 6 වැනි සැකකරු ලෙස නම්කරන බවය.

” ස්වාමිනි මෙම එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ හදිසි ප්‍රසම්පාදන කමිටුවේ සභාපති ලෙස කටයුතු කර ඇත්තේ මෙම සැකකරු. නමුත් එම ක්‍රියාවලියේදී භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කළ මාර්ගෝපදේශ මොහු අනුගමනය කර නැහැ. ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ මිලදී ගන්න පුළුවන් ඉන්දීය ආනයනකරුවකුගෙන් පමණයි. එවැනි තත්ත්වයකදී දේශිය සැපයුම්කරුවන්ගෙන් ඖෂධ මිලදීගන්න කැබිනට් අනුමැතිය ලැබීමටත් පෙර මොහු ටෙන්ඩර් මිල ගණන් කැඳවලා අවසන් කරලා තිබෙනවා. මොහු කැබිනට් අනුමැතියක් නොමැතිවම ප්‍රශ්නගත සැපයුම්කරුට වෛද්‍ය සැපයුම් ඒකකයේ ගිණුමෙන් ගෙවීම් පවා සිදුකර තිබෙනවා. ”

මෙහිදී ප්‍රමිතියෙන් තොර එන්නත් මාත්‍රා සැපයු සමාගමේ හිමිකරු සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අතර පැවති සම්බන්ධතාවය ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණය හමුවේ ප්‍රශ්න කළේය.

” ස්වාමිනි, සැපයුම්කරුට මුදල් ගෙවීම ප්‍රමාද වූ විට කඩිනමින් මුදල් ගෙවන ලෙසත්, සැපයීම ප්‍රමාද වූ එන්නත් මාත්‍රා සඳහා දඩමුදල් අය නොකරන ලෙස සහ එම සැපයුම්කරුටම මධ්‍යම ලේ බැංකුවෙන් රුධිර පට්ටිකා ලබාගැනීමට අවසරදෙමින් හිටපු සෞඛ්‍ය ලේකම්වරයා ලිපි නිකුත් කර තිබීම ගැටලු සහගතයි.” එමෙන්ම දැනට රක්ෂිත බන්ධනාගාර ගතවෙලා සිටින වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරින් සිව්දෙනාගේ සාපරාධි වරද අනුමත කර ඇත්තේ මොහු විසින්. ස්වාමිනි පුද්ගලයන්ට බොරු කරන්න පුළුවන්. නමුත් ලේඛනවලට බොරු කරන්න බැහැ. මේ සැකකරුට එරෙහිව සාක්ෂි ඉදිරිපත් වෙලා ඔහු විසින්ම සකසන ලද සටහන් සහ ලිපි. ස්වාමිනී, මා ඉල්ලා සිටිනවා මොහු පොදුදේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකරන්න කියලා ”

මෙහිදි මහේස්ත්‍රාත්වරිය ප්‍රශ්න කර සිටියේ පරිපාලන නිලධාරියෙකු වන මෙම සැකකරුට ඉහළින් අමාත්‍යවරයෙකු සිටියදී, ඔහුට මෙලෙස ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කළ හැකි ද යන්නය.

ඊට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙලෙස පිළිතුරු දුන්නේය.

” ස්වාමිනී දැනට සිදුකරන ලද විමර්ශනවලදී පෙනී ගොස් තිබෙන්නේ මෙම සැකකරු ඔහුට අවශ්‍ය පරිදි ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ මාර්ගෝපදේශ උල්ලංඝනය කළා කියලා. නමුත් ඒක කළේ කාගේ වුවමනාවට ද යන්න පිළිබඳව අපි විමර්ශන කරනවා.”

අනතුරුව සැකකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා මෙලෙස ඇප අයැදුමක් ඉදිරිපත් කළේය.

“ස්වාමිනි, මේ ප්‍රශ්නගත හදිසි මිලදී ගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක වන සමයේදි බෙහෙත්ගන්න හැකියාවක් තිබුණේ නැහැ. මොහු  සීමාවෙන් එහා යම් කටයුත්තක් කළානම් ඒක කරලා තියෙන්නේ ජනතාවට ඖෂධ සපයා දෙන්න. අනික මේ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුමැතිය දීලා තියෙන්නේ කැබිනට් මණ්ඩලය. ස්වාමිනි හියුමන් ඉමියුනොග්ලොබියුලින්වල වතුර තිබුණත් ඒක මගේ සේවාදායකයාගේ වරද නොවෙයි. මොකද මොහුගෙන් පහළ එක් එක් රාජකාරිවලට අදාළව වෙනම නිලධාරින් ඉන්නවා.”

කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ ඇප ප්‍රතික්ෂේප කරමින් විවෘත අධිකරණය හමුවේ මෙලෙස අදහස් පල කළේය.

“මෙම නඩුවේ 2 සිට 05 දක්වා සැකකරුවන් සිය රාජකාරිය කාර්යාල සහයෙකුගේ රාජකාරිය තරමටවත් තැකීමක් කරලා නැහැ. අද  ඉදිරිපත් කළ මෙම සැකකරුත් සම්බන්ධ පුර්ණ සැලසුම් සහගත ක්‍රියාවලියකින් තමයි පළමු සැකකරුට ගෙවූ ලක්ෂ 1400ක රජයේ මුදල අවභාවිතා වී තිබෙන්නේ. එබැවින් මෙම සැකකරු ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට නියෝග කරනවා”

එමෙන්ම මෙහිදී පැමිණිල්ල කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතාගේ කාර්යාලය ඉබි යතුරු දමා වසා තබන ලෙසටත්, අද පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා එය සෝදිසි කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පහසුකම් සලසන ලෙසටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *