ලොව පුරා හින්දු බැතිමතුන්ට ජනපති අනුර කුමාරගෙන් සුබපැතුම්

ශ්‍රී ලාංකික මෙන්ම ලොව පුරා විසිරී සිටින සමස්ත හින්දු බැතිමතුන් වෙත සිය උණුසුම් දීපවාලි සුබපැතුම් එක්කරන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, සමාජය තුළ සාමය, සංහිඳියාව, කරුණාව සහ සමාජ සාධාරණත්වය ගොඩනැගීම උදෙසා එක්වන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියි.
දීපවාලි උත්සවය වෙනුවෙන් ඊයේ (නොවැම්බර් 08) විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, වෛරය වෙනුවට දයාවත්, බෙදී වෙන්වීම වෙනුවට සහජීවනයත්, අසාධාරණය වෙනුවට යුක්තියත් තෝරාගනිමින් වඩාත් සාධාරණ හා මානුෂීය සමාජයක් ගොඩනැගීමට මෙම ආලෝකයේ උත්සවය කදිම අවස්ථාවක් සලසන බවයි.
දීපවාලි උත්සවයේ සැබෑ අර්ථය පහන් දල්වා නිවෙස් ආලෝකමත් කිරීමට පමණක් සීමා නොවී, මිනිස් සිත්සතන් තුළ ආදරය, සහෝදරත්වය, කරුණාව සහ උදාර මනුෂ්‍යත්වයේ පහන් දැල්වීම තුළ ගැබ්ව ඇති බව හෙතෙම සඳහන් කළේය.
අඳුර දුරලා යුක්තිය දිනවීමේ සංකේතය
නරකාසුර නමැති අසුරයා පරාජය කරමින් ශ්‍රී ක්රිෂ්ණ දෙවිඳුන් ලැබූ ජයග්‍රහණය සිහිපත් කරන හින්දු ආගමික විශ්වාසය සිහිපත් කළ ජනාධිපතිවරයා, අධාර්මිකත්වය පරදවා ධාර්මිකත්වය ජයග්‍රහණය කිරීමත්, මිනිස් හදවත් තුළ පවතින අවිද්‍යාවේ සහ අයහපතේ අන්ධකාරය දුරුකර යහපතේ ආලෝකය උදාකිරීමත් මෙමඟින් මැනවින් සංකේතවත් වන බව පෙන්වා දුන්නේය.
සියලු ආගමික හා සංස්කෘතික අනන්‍යතාවන්ට උපරිමයෙන් ගරු කරමින්, සෑම පුරවැසියෙකුටම සමානාත්මතාවයෙන් සහ මානව ගරුත්වයෙන් යුතුව සැලකෙන රටක් ගොඩනැගීමටත්, සමාජ, ආර්ථික හා දේශපාලන ක්ෂේත්රයන්හි සැබෑ පරිවර්තනයක් ඇතිකිරීමටත් රජය දැඩි කැපවීමෙන් කටයුතු කරන බව ඔහු අවධාරණය කළේය.
ආර්ථික හා සමාජීය වශයෙන් ශක්තිමත් වූ, ලෝකය හමුවේ අභිමානයෙන් නැගී සිටින “සාමයේ සහ මනුෂ්‍යත්වයේ දූපතක්” බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ ජාතික ගමන්මග, මෙවර දැල්වෙන දීපවාලි පහන් ආලෝකයෙන් තවදුරටත් ඒකාලෝක වනු ඇතැයි තමන් දැඩිව විශ්වාස කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ලොව පුරා සහ මෙරට වෙසෙන සියලුම හින්දු බැතිමතුන් වෙත සාමය, සතුට සහ සෞභාග්‍යය සපිරි ප්‍රීතිමත් දීපවාලි උත්සවයක් වේවායි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සුබපැතුම් එක්කර තිබේ.





