කොළඹ රජයේ බංගලා 7ක් වසර 30ක බදු පදනම මත වාණිජ සංවර්ධනයට ආයෝජන කැඳවයි

කොළඹ පිහිටි රජයට අයත් බංගලා කිහිපයක් වසර 30ක බදු ගිවිසුම් යටතේ වාණිජ කටයුතු සඳහා සංවර්ධනය කර පවත්වාගෙන යාමට ආයෝජන යෝජනා කැඳවීමට රජය පියවර ගෙන තිබේ.

මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් සුදුසුකම්ලත් ආයෝජකයන්ගෙන් මෙම දේපළ ප්‍රතිභාවිත කිරීම, ප්‍රතිසංස්කරණය, සංවර්ධනය, මෙහෙයුම් සහ නඩත්තු කටයුතු සඳහා යෝජනා කැඳවා ඇත.

මෙම වැඩසටහන යටතේ කොළඹ 5 ප්‍රදේශයේ පිහිටි බංගලා හතක් ඇතුළත් කර තිබේ. ඒවා Stanmore Crescent හි B13, B14 සහ B20, Paget Road හි C61 සහ C62 සහ Skelton Road හි E01 සහ E02 යන දේපළ වේ.

අදාළ දේපළ සංචාරක කර්මාන්තයට සම්බන්ධ සිල්ලර ව්‍යාපාර, කුඩා ප්‍රමාණයේ සුඛෝපභෝගී නවාතැන්, කැෆේ සහ අවන්හල් වැනි වාණිජ කටයුතු සඳහා භාවිත කිරීමට යෝජනා කර තිබේ.

උපායමාර්ගිකව වැදගත් ස්ථානවල පිහිටි රජයේ දේපළ පෞද්ගලික අංශයේ ආයෝජන හරහා ආර්ථික වශයෙන් ඵලදායී ලෙස භාවිත කිරීම මෙම වැඩසටහනේ අරමුණ බව රජය සඳහන් කරයි. එමෙන්ම ඉඩම් සහ ගොඩනැගිලිවල රජයේ අයිතිය අඛණ්ඩව පවත්වාගෙන යාමටද නියමිතය.

ආයෝජකයන්ට එක් දේපළකට හෝ දේපළ කිහිපයකට යෝජනා ඉදිරිපත් කළ හැකි අතර, සෑම බංගලාවක්ම වෙන වෙනම ඇගයීමට ලක් කර බදු පදනම මත ලබාදීමට නියමිතය.

ජාතික තරගකාරී ක්‍රියාවලියක් යටතේ ආයෝජකයන් තෝරා ගැනීමට නියමිත අතර, සුදුසුකම්ලත් ලංසුකරුවෙකු විසින් ඉදිරිපත් කරන ඉහළම වාර්ෂික බදු මුදල තේරීමේ ප්‍රධාන පදනමක් වනු ඇත.

දේශීයව ලියාපදිංචි සමාගම්, තනි පුද්ගල ව්‍යාපාර, සමුහ ව්‍යාපාර හෝ හවුල් ව්‍යාපාර ඇතුළු සුදුසුකම්ලත් ආයතනවලට මේ සඳහා අයදුම් කළ හැකිය. පසුගිය වසර තුන සඳහා විගණනය කළ මූල්‍ය ප්‍රකාශන ඇතුළු ලේඛන මගින් තම මූල්‍ය හැකියාවද ඔවුන් තහවුරු කළ යුතුය.

තෝරාගනු ලබන ආයෝජකයා වාර්ෂික බදු මුදලේ වසර තුනකට සමාන මුදලක් අත්තිකාරම් වාරිකයක් ලෙසත්, මාස හයක බදු මුදලට සමාන ආපසු ගෙවිය හැකි තැන්පතුවක් ලෙසත් ගෙවිය යුතුය.

ගිවිසුම අත්සන් කිරීමෙන් දින 90ක් ඇතුළත අදාළ දේපළවල වාණිජ මෙහෙයුම් ආරම්භ කිරීමද අනිවාර්ය වේ.

ආයෝජන යෝජනා භාරගැනීමේ අවසන් දිනය 2026 අගෝස්තු 25 වනදා පස්වරු 2.00ට යෙදී තිබේ. විභව ආයෝජකයන් සඳහා දේපළ නැරඹීමේ සහ පැහැදිලි කිරීම් ලබාදීමේ හමුවක් අද (12) මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *