ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) අගෝස්තු 12 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවති සාකච්ඡාවේ සංස්කරණය නොකළ සම්පූර්ණ වීඩියෝ පටිගත කිරීම ලබාදෙන ලෙස ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිල වශයෙන් ඉල්ලා තිබේ.
අගෝස්තු 14 වැනිදා යොමු කළ ලිපියකින් BASL සඳහන් කර ඇත්තේ මේ වන විට තමන් වෙත ලබාදී ඇත්තේ සාකච්ඡාවේ කොටසක් පමණක් අඩංගු වීඩියෝ පටිගත කිරීමක් බවයි.
එම වීඩියෝවේ සාකච්ඡාවේ ආරම්භක කොටස පමණක් ඇතුළත් වන අතර, ඇතැම් ස්ථානවල ශ්‍රව්‍ය පැහැදිලි නොවන බවද සංගමය පෙන්වා දී තිබේ.
ඒ අනුව, තම නියෝජිත පිරිස විසින් සිදුකළ සියලු අදහස් දැක්වීම්, නිරීක්ෂණ, ප්‍රතිචාර සහ අවසන් ප්‍රකාශය ඇතුළත් සම්පූර්ණ වීඩියෝ පටිගත කිරීම ලබාදෙන ලෙස BASL ඉල්ලා ඇත.
එමෙන්ම, වීඩියෝව හැකි ඉහළම ශ්‍රව්‍ය හා දෘශ්‍ය තත්ත්වයෙන් ලබාදෙන ලෙසද සංගමය ඉල්ලීමක් කර තිබේ.
BASL පරිපාලන ලේකම් සුරානි සමරසේකර මහත්මියගේ අත්සනින් යුතුව මෙම ලිපිය ජනාධිපති කාර්යාලය වෙත යොමු කර ඇත.


