ශ්‍රී ලංකාවේ අරාබි තානාපතිවරුන්ගේ කවුන්සිලය ජනපති හමුවෙයි

ශ්‍රී ලංකාවට ප්‍රතීතනය ලත් අරාබි තානාපතිවරුන්ගේ කවුන්සිලය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ඊයේ (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ජනාධිපති මාධ්‍ය අංශයට (PMD) අනුව, පවතින ගැටුම්කාරී තත්ත්වය මධ්‍යයේ මැදපෙරදිග රටවල් මුහුණ දෙන අභියෝග, විශේෂයෙන් කලාපයේ සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වයට එල්ල වී ඇති තර්ජන පිළිබඳව තානාපතිවරු ජනාධිපතිතුමාට කරුණු දැක්වූහ.

මැදපෙරදිග සාමය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය. ගැටුමට සෘජුව සම්බන්ධ නොවන කලාපයේ රටවල් ඉලක්ක කර ගනිමින් එල්ල වන ප්‍රහාර පිළිබඳව ද කනස්සල්ල පළ කළ ඔහු, එවැනි ප්‍රහාර කිසිදු තත්ත්වයක් යටතේ අනුමත නොකරන බව තරයේ ප්‍රකාශ කළේය.

මැදපෙරදිග රටවල් ශ්‍රී ලංකාවට ලබාදෙන සහය විශේෂයෙන් බලශක්ති අවශ්‍යතා සපුරාලීම සඳහා ඔවුන් දක්වන දායකත්වය මෙන්ම විදේශ රැකියා අවස්ථා ලබාදීමේදී සහ සංචාරක ව්‍යාපාරයට සහය දැක්වීම සඳහා ඔවුන් දක්වන දායකත්වය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රසාදය පළ කළේය.

මැදපෙරදිග රටවල ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විශාල ප්‍රමාණයක් සේවයේ නියුතු බව සඳහන් කළ ජනාධිපතිතුමා, පවතින ගැටුම්කාරී තත්ත්වය තුළ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට දක්වන අවධානය පිළිබඳව ද සිය කෘතඥතාව පළ කළේය.

මැදපෙරදිග සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා ජාත්‍යන්තර නීතියේ රාමුව තුළ ශ්‍රී ලංකාව තනි ජාතියක් ලෙස මෙන්ම සාමූහිකව අන්‍යයන් සමඟ ද උපරිම සහයෝගය ලබා දෙන බව ඔහු තවදුරටත් තහවුරු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *