පෙර පාසල් අධ්‍යාපනයට රජයේ විශේෂ අවධානය

තීරණාත්මක වයස් කාණ්ඩයක සිටින පෙර පාසල් දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය සහ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.

ඒ වෙනුවෙන් විධිමත් පුහුණුවක් සහිත  ගුරුවරුන්ගෙන් යුතු රජයේ ලියාපදිංචි මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හරහා මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික විෂය මාලා රාමුවට අදාළව ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් විය යුතු බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.

ගම්පහ, කොළඹ, කළුතර, රත්නපුර යන දිස්ත්‍රික් නියෝජනය කරමින් විශ්ව පෙර පාසල් ගුරු සංගමයේ සාමාජිකාවන් සමග  පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය  මේ බව පැවැසුවාය.

මෙහිදී  මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික විෂයමාලා රාමුවට අනුකූලව පුහුණුකරුවන් පුහුණු කිරීම සඳහා සුදුසුකම් ලත් පුහුණු කරුවන් තෝරා ගැනීම,  පෙර පාසල් ගුරුවරුන්  සඳහා විධිමත්  පුහුණුවක්  ලබා දීම, පෙරපාසල් ගුරුවරුන්ට දීමනා සහ දායකත්ව විශ්‍රාම වැටුපක් ලබා දීම වෙනුවෙන් මුදල් කොමිසම සමඟ සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ අවධානය යොමු විය.

පෙර පාසල් නියාමනය කිරීම සහ රජයේ ලියාපදිංචි පෙර පාසල් හරහා දරුවන්ට විධිමත් මුල් ළමාවිය අධ්‍යාපනයක් ලබා දීමෙි වැදගත්කම හා මුල් ළමාවිය සංවර්ධන නිලධාරීන් හරහා රජය සහ පෙරපාසල් අතර විධිමත් සම්බන්ධීකරණයක් සිදු කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *