වයඹ සරසවි වෙද සිසුන්ට ඉන්න තැනක් හදයි

ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා නේවාසිකාගාරයක් ඉදි කිරීම සඳහා ඉඩමක් පවරා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කුලියාපිටියේ පිහිටුවනු ලැබ ඇති ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් සිය රෝහල් පාදක අධ්‍යයන කටයුතු කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිදු කරනු ලැබේ. අධ්‍යයන කණ්ඩායම් 03 කට අයත් වෛද්‍ය සිසුන්ට නේවාසික පහසුකම් සැපයීම සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල ආශ්‍රිතව වයඹ විශ්ව විද්‍යාලය සතුව නේවාසිකාගාරයක් නොමැති බැවින්, එම සිසුන්හට පුද්ගලිකව අනේවාසික පහසුකම් සපයා ගැනීමට සිදුව ඇත.

එබැවින්, එම සිසුන් හට දිවා හා රාත්‍රී කාලයේදී කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත පහසුවෙන් ළඟා වීමට හැකි ආරක්ෂිත ස්ථානයක නේවාසිකාගාරයක් ඉදිකිරීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් වී තිබේ.

ඒ අනුව, එම නේවාසිකාගාරය ඉදිකිරීම සඳහා හඳුනාගනු ලැබ ඇති කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුරුණෑගල බටහිර ග්‍රාම නිලධාරී වසමේ පිහිටි රජයට අයත් පර්වස් 80ක ඉඩම් කොටසක් රජයේ ඉඩම් ආඥාපනතේ 6 (1) වන වගන්තිය ප්‍රකාරව නිදහස් දීමනාවක් ලෙස ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලය වෙත පවරා දීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *