චීන යුද නෞකා තුනක් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි

මහජන චීන විමුක්ති හමුදාවේ (Chinese People’s Liberation Army Navy)  යුද නෞකාවන් වන “HE FEI”, “WUZHISHAN” සහ “QILIANSHAN” යන යුද නෞකා ත්‍රිත්වය නිල සංචාරයක් සඳහා  කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Destroyer වර්ගයට අයත් “HE FEI” යුද නෞකාව, දිගින් මීටර් 144.50 හා නැව් මුළුව 267 ක ගෙන් සමන්විත වන අතර, එම නෞකාවේ අණදෙන නිලධාරී ලෙස ‍කපිතාන්  Chen Junfeng  කටයුතු කරනු ලබයි.

Landing Platform Dock වර්ගයට අයත් “WUZHISHAN” යුද නෞකාව දිගින් මීටර් 210 හා නැව් මුළුව 872 ක ගෙන් සමන්විත වන අතර, එම නෞකාවේ අණදෙන නිලධාරී ලෙස ‍කපිතාන් Fei Zhang කටයුතු කරනු ලබයි. Landing Platform Dock වර්ගයට අයත් “QILIANSHAN” යුද නෞකාව දිගින් මීටර් 210 හා නැව් මුළුව 334 ක ගෙන් සමන්විත වන අතර, එම නෞකාවේ අණදෙන නිලධාරී ලෙස ‍කපිතාන් Xiong Binghon කටයුතු කරනු ලබයි.

මෙම නෞකා ත්‍රිත්වයේ අණදෙන නිළධාරීන් සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ අතර නිල හමුවක් අද දින (2024 අගෝස්තු 26) බටහිර නාවික විධාන මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර, දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා එම නෞකාවන්ගේ නැව් මුළුවන් සහභාගී වීමටද නියමිතව ඇත.

එමෙන්ම, “HE FEI”, “WUZHISHAN” සහ “QILIANSHAN” යන යුද නෞකා ත්‍රිත්වය මෙරට රැඳී සිටින කාලසීමාව තුල එම නෞකාවන්ගේ නැව් මුළුවන් දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිතව ඇති අතර, නෞකාවන්ගේ මෙහෙයුම් ක්‍රියාකාරිත්වය පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් එම නෞකා තුළ පැවැත්වීමටද නියමිතව ඇත.

තවද, බටහිර නාවික විධාන මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ සිදු කෙරෙණ පුහුණු අභ්‍යාසයකින් (PASSEX) අනතුරුව, මෙම නිල සංචාරය අවසන් කරමින් “HE FEI”, “WUZHISHAN” සහ “QILIANSHAN” යුද නෞකා ත්‍රිත්වය 2024 අගෝස්තු මස 29 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *