ෆොන්සේකා පිළිබඳ සජබයේ ප්‍රතිශෝධන පෙත්සමට දිනයක්

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් සමගි ජන බලවේගය විසින් ගොනු කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම සලකාබැලීම සඳහා ජුනි මස 05 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගය තුළ දරනු ලබන තනතුරු සහ ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් පනවා තිබෙන වාරණ නියෝගය අත්හිටුවීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය විසින් ගොනු කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම සලකාබැලීම සඳහා මෙලෙස ජුනි මස 05 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

මෙම  ප්‍රතිශෝධන පෙත්සම ඊයේ (21) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

හිටපු යුද හමුදාපති දයා රත්නායක මහතා සමගි ජන බලවේගයට එක්කර ගැනීම සම්බන්ධයෙන් තමන් විසින් සිදු කළ ප්‍රකාශය පදනම් කරගෙන සමගි ජන බලවේගය නායකයින් විසින් සිය පක්ෂ සාමාජිකත්වය හා තමන් දැරූ තනතුරුවලින් ඉවත් කිරීමේ සූදානමක් පවතින බව සඳහන් කරමින් සරත් ෆොන්සේකා මහතා විසින් කොළඹ දිසා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම විභාග කළ කොළඹ දිසා අධිකරණය සරත් ෆොන්සේකා මහතා අදාළ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කළේය.

එම වාරණ නියෝගය නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් එය අත්හිටුවීමේ තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසක් විසින් අභියාචනාධිකරණයට මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *