කීරි සම්බා වී ලොරියක් සොරා ගෙන වී උර විකිණූ දෙදෙනෙක් මාට්ටු

රුපියල් ලක්ෂ පහළොවක් වටිනා කීරි සම්බා වී ලොරියක් සොරාගෙන ගොස් එම වී තොගය විකුණා ලබාගත් රුපියල් ලක්ෂය නවයක මුදල සහ සඟවා තිබූ වී උර 11ක් පෙරේදා (23) අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය පවසයි.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා පසුගිය 21 වැනිදා අරලගංවිල මැදගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර එම සැකකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීම සඳහා වැලිකන්ද පොලිසියේ උඩුමහලට රැගෙන යමින් සිටියදී ඔහු බිමට පැන සිදුවූ තුවාල හේතුවෙන් පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කෙරිණි.

සැකකරුවන් දෙදෙනා අරලගංවිල මැදගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 36 හා 56 වයසේ පසුවන දෙදෙනෙකු වන අතර, උඩුමහලින් බිමට පැනීමෙන් තුවාල වූ සැකකරු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ පොලොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනෙක් සැකකරු පොලොන්නරුව මහේස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කර තිබෙන බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සමන්ත රත්නායක මහතා අප කළ විමසීමකදී පැවසීය.

අරලගංවිල උල්පත්වැව ව්‍යාපාරිකයෙකුට අයත් මෙම කීරි සම්බා තොගය රියැදුරෙකු විසින් වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ වී මෝලකට පසුගිය විසි වැනිදා විකිණීම සඳහා රැගෙන ගිය විට එදින වීමෝලේ පැවැති තදබදය නිසා එම ස්ථානයේ වී ලොරිය නවතා හිමිකරු දුරකතනයෙන් දැනුවත් කිරීමෙන් පසු රියැදුරු නිවෙසට ගොස් තිබිණි. පසුදා රියැදුරු එම ස්ථානයට යන විට වී ලොරිය නොතිබූ අතර අරලගංවිල උල්පත්වැව පදිංචි වී ලොරියේ හිමිකරු විසින් වැලිකන්ද පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව 21 වැනිදා අරලගංවිල 4 කණුව ප්‍රදේශයේදී එම වී ලොරිය දමාගොස් තිබියදී වැලිකන්ද පොලිසිය විසින් සොයාගන්නා ලදි. ඒ අනුව තවදුරටත් ආරක්ෂිත කැමරා උපයෝගී කරගත් වැලිකන්ද පොලිසිය සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී සොරාගත් වී මිටි 138ක් වෙනත් ලොරියක දමා පොලොන්නරුවේ වී මෝලකට විකුණා ඇති අතර ඉතිරි වී උර සැකකරුවන්ගේ ආහාර සඳහා නිවෙසක සඟවාගෙන තිබූ බවට හෙළිදරව් වු බව මේ පිළිබඳ පරීක්‍ෂණ සිදුකරන වැලිකන්ද ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා, පොලිස් අධිකාරි ප්‍රගති ලක්මින අබේසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සමන්ත රත්නායක, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රියන්ත වීරසිංහ, (2952) බුද්ධික, (23789) අත්තනායක, (39210) වීරසිංහ, (51096) රත්නායක, යන පොලිස් සැරයන්වරුන් ඇතුළු සිවිල් ආරක්ෂක භට (23546) දිල්හාර යන නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *