හිටපු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ත්රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සිටින බවට වාර්තා වීමත් සමඟ මහජනතාව එම කඳවුර ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබේ.
හිටපු අග්රාමාත්යවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් කිහිප දෙනෙකු කොළඹ අරලියගහ මන්දිරයෙන් පිටත්ව අද පෙරවරුවේ ත්රිකුණාමලය නාවික හමුදා කඳවුරට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
ඊයේ උදෑසන මහින්ද රාජපක්ෂ මහතා හමුවූ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් ඊයේ අරලියගහ මන්දිරයෙන් පිටත සහ කොළඹ ගාලුමුවදොර පිටියේදී ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන්ට පහරදීමත් සමඟ ශ්රී ලංකාව පුරා නොසන්සුන්තාවක් ඇති විය.
නොසන්සුන්තාවයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා ශ්රී ලංකාවේ අග්රාමාත්ය ධූරයෙන් ඉල්ලා අස්විය.
කෝපයට පත් ජනතාව ඊයේ රාත්රියේ අරලියගහ මන්දිරයට කඩා වැදීමට උත්සාහ කරන අයුරු දැකගත හැකි වූ අතර, ඉන් අනතුරුව අද අලුයම විශේෂ මෙහෙයුමක් යටතේ හිටපු අග්රාමාත්යවරයා එම පරිශ්රයෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වුණේ.
ඔහු සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකු සමඟ අද උදෑසන ත්රිකුණාමලය නාවික හමුදා කඳවුරට පැමිණ ඇති බව පසුව වාර්තා වූ අතර, ඒ හේතුවෙන් ජනතාව එම කඳවුර වටකර විරෝධතාවයක නිරත විය.
විරෝධතාවයේ නිරත වූ විරෝධතාකරුවන් හිටපු අග්රාමාත්යවරයාට ඉන් ඉවත් වන ලෙසත් නාවික හමුදාවට ආරක්ෂාව ලබා දීමෙන් වළකින ලෙසත් ඉල්ලා තිබේ.
කෙසේ වෙතත්, හිටපු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් එම ස්ථානයේ සිටින්නේද යන්න තහවුරු වී නැහැ.